,
Editorial

රට සුරකින රාජ්‍ය සේවයක් සඳහා මේ ඇතිද?

පසුගිය සතිය උණුසුම් කළේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයයි. අල්ලසට දූෂණයට කප් ගැසූ රාජ්‍ය සේවයක් බවට නිතර චෝදනා එල්ල වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ද දේශපාලනයට බොහෝ සෙයින් සමාන වූයේ දූෂණය හා අකාර්යක්ෂමතාවය යන කරුණු මතය. නමුත් මේ තත්වය වෙනස් කළ සිදුවීම් දෙකක් පසුගිය සතියක කාලය තුළ කරලියට පැමිණ රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ සිදුවීම් විය.

ඉන් පළමු වැන්න වූයේ මැති ඇමතිවරුන්ගේ රථගාය වෙනුවෙන් පසුගිය යහපාලන රජයේ ඇමතිවරුන් සඳහා කෝටි 280ක වියදමින් වාහන 78ක් ලබා ගැනීම පිළිබඳ පාර්ලිමේන්තුව තුළ අනාවරණය වීමත් සමග තවත් කෝටි 243ක වාහන මගඩියක් ගැන හෙළිවූ සිදුවීමයි. කෝටි 280 වාහන ගැන කරලියට පැමිණි පසු යහපාලන රජය සමයේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් නීතිඥ නිමල් බෝපගේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කළේය. එයින් කියැවුනේ ඇමතිවරුන් වෙනුවෙන් කෝටි 280ක වාහන මිල දී ගැනීමට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකු වෙනුවෙන් රු. කෝටි 243ක වියදමින් අධි සුඛෝපභෝගී වාහන 58ක් මිල දී ගැනීමට කළ උත්සාහයක් පිළිබඳවයි.

මේ පිළිබඳව ඔහු 2016 වසරේ දී මුල් වරට හෙළි කර තිබූ අතර රාජ්‍ය නිලධාරියෙකු ලෙස තිබූ සීමාවන් හේතුවෙන් කිසිවෙකුට චෝදනා නොකළ ද අදාළ නිවේදනය ඔස්සේ ඔහු ඒ සම්බන්ධයෙන් සියළු කරුණු හෙළිදරව් කර තිබෙනවා. ඒ අනුව එම ගිවිසුමට “අත්සන් කරන්න නැත්නම් ඉල්ලා අස්වන්න” යැයි හිටපු අගමැතිවරයා තමන්ට තර්ජනය කළ බවද ඔහු විසින් හෙළිදරව් කර තිබේ. නමුත් ඍජු රාජ්‍ය නිලධාරියෙකුගේ කෂේරුකාවේ තරම පෙන්වමින් නිමල් බෝපගේ එම ගිවිසුමට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන් නොනැවතුනු ඔහු එම ගිවිසුම සම්බන්ධයෙන් තම සීමාවන් තුළ සිටම මාධ්‍ය වෙත එකලම අනාවරණය කර ඒ සම්බන්ධයෙන් ජනතා අවධානයද යොමුකරමින් කැබිනට් මණ්ඩලය ද අනුමත කර තිබූ අදාල මගඩි ගිවිසුම ක්‍රියාත්මක කළ නොහැකි තත්වයක් ඇති කිරීමටද සමත් වී තිබුණි. නමුත් යහපාලන රජය ස්වාධීන කළැයි කී රාජ්‍ය සේවයේ ඉහළම තලයේ නිලධාරියෙකු වූ නිමල් බෝපගේට අදාළ තනතුර අහිමි කර තිබේ. ඒ දූෂිත ගිවිසුමට අත්සන් නොකිරීම යන කරුණ මතයි. 19 සංශෝධනය හරහා අමාත්‍යංශ ලේකම්වරයෙකු ඉවත් කිරීමේ හැකියාවක් නොතිබූ අතර ඒ සඳහා යහපාලන ආණ්ඩුව “අමුතුම ගේමක්” දී ඇති බව නිමල් බෝපගේ නිවේදනයෙන් හෙළි වී තිබේ. එහිදී අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ ධූරය අවසන් වන අවස්ථාවක් ඇත. එනම් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීම හෝ අමාත්‍යංශයේ පැවැත්ම නතර වීම යන අවස්ථා ඇත. යහපාලන රජය සිදුකර ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය අහෝසි කර “මුදල් හා ජනමාධ්‍ය” නමින් අමාත්‍යංශයක් ඇති කිරීමයි. එහි ලේකම්වරයා ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් සමරතුංග පත් කර තිබේ. ඒ අනුව නිමල් බෝපගේට තනතුර අහිමි කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැත්ම අහෝසි කර දමා ඇත. නිමල් බෝපගේ තම නිවේදනයෙන් අවසන් වශයෙන් කියා තිබුණේ තමන්ට තනතුර අහිමිවුවද රටට රුපියල් කෝටි 243ක් ඉතිරි කිරීමට හැකියාව ලැබීම පිළිබඳ සතුටු වන බවයි.

පසුගිය සතියේ පමණක් රාජ්‍ය නිලධාරී භූමිකාවේ ඍජු නිලධාරියෙකුට කළ හැකි මෙහෙවර ප්‍රකට කළ දෙවැනි අවස්ථාව වූයේ වූයේ ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක සිදුවීමයි. අදාළ නිලධාරිනිය රාජ්‍ය සේවයේ නවක නිලධාරිනියක් වුවද ඇමතිවරයාගේ මුණටම අදාළ සිදුවීමට විරෝධය පෑමට හැකියාව ලැබී තිබිණි. නිමල් බෝපගේලා වැනි පරිනත හා රජයේ ඉහළම නිලධාරීන්ටද “සයින් ඕ රිසයින්” යැයි කියමින් අගමැතිවරයා තර්ජනය කරන යුගයක දේවානි ජයතිලකලා වැනි රාජ්‍ය සේවයේ නව නිලධාරිනියන් මෙලෙස නිර්භීතව සිදුවීමට මුහුණ දීම රාජ්‍ය සේවය ලැබූ ප්‍රබල ජයග්‍රහණයකි. දේවානි ජයතිලක සිදුවීමේ දී ඇය පෙන්වා දෙන්නේ පරිසර ගැටළුවක් පමණක් නොවන අතර නෛතික සීමාව තුළ සිදුකළ නොහැකි දෙයක් පිළිබඳවයි. නමුත් දේශපාලනඥයා එහිදී කියා සිටින්නේ නීතිය පසෙකින් තබා කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. ඊට එකහෙළාම විරෝධය පළ කරන දේවානි ජයතිලක පවසන්නේ “නීතියට පිටින් කිසිවක් කළ නොහැකි” බවයි. එය කී විට එහි සිටි ඔක්සිජන් අවශ්‍ය නැති පිටසක්වල ජීවින් අසා සිටින්නේ ඔක්සිජන් කන්නද කියායි. එවිට දේවානි ජයතිලක මතු කරන්නේ යුගයේ ප්‍රශ්නයයි. “ඔක්සිජන් ඕනෙ නෑ කියන මේ මිනිස්සු කියන දේ කරන්න ද අපි මේ තරම් ඉගෙනගෙන මේ තනතුරුවලට එන්නේ? අපි තීරණය කරන්න ඕනේ මිනිස්සුන්ගේ මේ වගේ ඉල්ලීම් දීලා දේශපාලනික තීරණ ගන්නවද, නැත්තම් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූල තීරණ ගන්නවද කියන එක”. මේ ගැටළුවට එතැන සිටි කිසිවෙකුට උත්තරයක් තිබුනේ නැත. දේශපාලකයින් සිදුකළ යුත්තේ නෛතික සීමාවන් තුළ ජනතා අවශ්‍යතාවයන් සැපිරීමයි. ඊට අවශ්‍ය නීති සම්පාදනයද සංශෝධනයද ඔවුන් සතුයි. නමුත් ඔවුන් සිදුකරන්නේ ඡන්ද වෙනුවෙන් සහ ජනප්‍රියත්වය වෙනුවෙන් තීරණ ගැනීමයි. නමුත් නිලධාරියාගේ භූමිකාව විද්‍යාත්මක භූමිකාවකි. ඔවුන් තම දැනුම හරහා සහ පවතින නෛතික රෙගුලාසි ප්‍රකාරව තීරණ ගනු ලබයි. එසේ නොකරන හා දූෂිත නිලධාරීන් අප රට වෙලාගෙන ඇති මොහොතක සහ දේශපාලකයින් සමග හරි හරියට ඩීල් දමන දූෂිත නිලධාරීන් අතර “බෝපගේලාගේ හා දේවානිලාගේ නිර්භීතකම” ගැන සමාජය දැඩි ලෙස ආඩම්භර වෙයි.

සත්‍ය වශයෙන්ම නිමල් බෝපගේටත්, දේවානි ජයතිලකටත් මෙතරම් සමාජ අවධානයක් හිමිවන කාරණය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එය අති සංවේදී කාරණයකි. නිමල් බෝපගේත් දේවානි ජයතිලකත් සිදුකරන්නේ තම රාජකාරිය ඉටු කිරීම පමණි. රාජකාරිය ඉටු කිරීම මෙතරම් ජනප්‍රසාදයකට ලක්වීමට හේතුව නම් අතිශය බහුතරයක් එලෙස තම රාජකාරිය ඉටු නොකිරීමයි. නිමල් බෝපගේලාගේ දේවානි ජයතිලකලාගේ සටන ජයග්‍රහණය කරන්නේ නම් එලෙස රාජකාරි ඉටු කරන නිලධාරීන් අතිශය සුලබ විය යුතුය. එවිට අපට නොදැනිම අපේ රටත් දියුණු රටක් වී තිබෙනු ඇත.

ත්‍රීවිල් වැකියක් සමග මේ කතාව අවසන් කරමු. මේ පුන්‍ය භූමියේ සමස්ථ රාජ්‍ය සේවයට බෝපගේලා දේවානිලා තව තවත් බිහිවේවායි ප්‍රාර්ථනය කරමු!

http://rivira.lk/advertising/
To Top