,
Covid-19

ඇඳිරි නීතිය ලිහිල් කරත් තව දුරටත් වසා තබන ක්ෂේත්‍ර සහ තහනම් ක්‍රියාවන් මෙන්න

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස මාර්තු 18 සිට පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර ඇත.

ඒ අනුව අදියර දෙකක් යටතේ ඇඳිරි නීතිය ඉවත් කෙරෙමින් යළි පැනවීම ක්‍රියාත්මක කෙරෙන අතර මුල් අදියර යටතේ අවදානම් නොවන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා සිටත් දෙවන අදියර යටතේ අවදානම් දිස්ත්‍රික්කවල අධිඅවදානම් ප්‍රදේශවලට අදාළ නොවන පරිදි අප්‍රේල් 22 සිටත් ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනු ඇත.

අප්‍රේල් 22 දින සිට නැවත දැනුම් දෙන තුරු සියළු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

එහෙත් ඇඳිරි නීතිය ලිහිල් කළද පාසැල්, විශ්ව විද්‍යාල, උපකාරක පංති ඇතුලු සියලුම ආකාරයේ අධ්‍යාපන ආයතන වසා තැබිය යුතු බව රජය අවධාරණය කරයි.

ඇඳිරි නිතීය ඉවත් කරන ප්‍රදේශවල ද ප්‍රධාන මාර්ග භාවිත කළ යුත්තේ රැකියා සඳහා යාම් ඊම් ඇතුළු අත්‍යාවශ්‍ය කාර්යයන් උදෙසා පමණක් වේ. දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇත.

එමෙන්ම ආගමික උත්සව, විනෝද ගමන්, සිනමා ශාලා, ප්‍රසංග, වන්දනා ගමන්, සැනකෙලි, පෙරහැර, රැස්වීම් ඇතුලු ජනතාව ඒකරාශී වන සියලු ආකාරයේ කටයුතු සඳහා පනවා ඇති තහනම එළෙසම පවතී.

එමෙන්ම සෞඛ්‍ය නියමයන් පිළිපදින ලෙසත් වෙළඳසැල් තුළ පවා අනවශ්‍ය ආකාරයෙන් ඒකරාශී නොවන ලෙසත් රජය ඉල්ලා සිටී.

මේ අතර දුම්රිය සේවය සීමා කරමින් ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නේ ද රැකියා සඳහා යන මගීන්ට හා අත්‍යවශ්‍ය සේවා සපයන පුද්ගලයින් පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටී.

To Top