,
Foreign

කිම් ජොන් උන් කොහිද? ඔහු ගැන පැතිර යන කතා පිළිබඳ ඔබ දැනගත යුතු සියලු දේ

Photo Credit: Korean Central News Agency/Korea News Service via AP

කිම් ජොන් උන් ගේ සෞඛ්‍යය පිළිබඳ විවිධ කටකතා අන්තර්ජාලය තුළ වේගයෙන් පැතිර යමින් තිබේ. මෙම කටකතාවලට පාදක වූ සිදුවීම වූයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඔහුගේ සීයා වන ප්‍රජාතාන්ත්‍රික ජනතා ජනරජයේ (උතුරු කොරියාව ලෙස ජනප්‍රියව ඇති) නිර්මාතෘ කිම් ඉල්-සුංගේ ජන්ම සංවත්සරය සනිටුහන් කරමින් අප්‍රේල් 15 වන දින සූර්ය දිනය සැමරීමට නොපැමිණීමයි. කිම් ජොන් උන් සිය පියාගේ අභාවයෙන් පසු 2011 දී නායකත්වයට පත්වූ අතර ඉන් පසු උතුරු කොරියාවේ වැදගත්ම නිවාඩු දිනය වන සුර්ය දින උත්සවය ඔහුට අතපසු වූ පළමු අවස්ථාව මෙයයි. කිම් ජොන් උන් අවසන් වරට රාජ්‍ය මාධ්‍ය තුළ පෙනී සිට ඇත්තේ අප්‍රේල් 12 වන දින ගුවන් හමුදා කඳවුරකට ගිය අවස්ථාවේදීය. ඔහු අපේ‍්‍රල් 11 වන දින අගනුවර වන ප්යොං යැං හි පැවති කොරියාවේ පාලක කම්කරු පක්ෂයේ දේශපාලන කාර්යාංශ රැස්වීමකටද සහභාගී වී තිබේ.

කටකතාවලට පාදක වූයේ කුමක්ද?

මෙම කටකතාවලට මූලික වූ පළමු තොරතුර වූයේ අප්‍රියෙල් 20 වන දින සෝල් නුවර පිහිටි මාධ්‍ය ආයතනයක් වන ඩේලි එන්කේ විසින් ප්‍රසිද්ධ කළ පුවතයි. උතුරු කොරියාවේ නිර්නාමික මූලාශ්‍ර උපුටා දක්වමින් කිම් ජොන් උන් හෘද සැත්කමකට භාජනය කර ඇති බවත් රට අභ්‍යන්තරයේ ඇති ඔහුගේ බංගලාවක සුවය ලබමින් සිටින බවත් එම පුවතින් කියා සිටියේය. ඩේලි එන්කේ කතාවෙන් පසු ජපාන සඟරාවක් වන ෂුකාන් ගෙන්ඩයි පසුගිය සතියේ වාර්තා කළේ කිම් ජොන් උන්ට හදිසි හෘදයාබාධයක් ඇති වී තිබෙන අතර ඔහුගේ වෛද්‍යවරුන් විසින් හදිසි ශල්‍යකර්මයක්(බයිපාස්) කර ඇති බවයි. නිර්නාමික චීන වෛද්‍ය මූලාශ්‍රයක් උපුටා දක්වමින් එම වාර්තාවෙන් වැඩිදුරටත් කියා තිබුණේ එම සැත්කම නිසියාකාරව සිදුවී නැති බවත් සැත්කම නරක අතට හැරී උතුරු කොරියානු නායකයාගේ මොළය මිය ගොස් ඇති බවයි. අප්‍රේල් 25 දින රෝයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේ කිම් ජොන් උන්ට “උපදෙස්” ලබා දීම සඳහා චීනය වෛද්‍ය නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් උතුරු කොරියාවට යවා ඇති බවයි.

“මෙය, මෙවැනි අතුරුදහන් වීමක් සිදුවූ පළමු වතාව නොවේ”

කිම් ජොන් උන් මහජනයාගෙන් අතුරුදහන් වන පළමු අවස්ථාව මෙය නොවේ. 2014 දී ඔහු මාසයකට අධික කාලයක් රාජ්‍ය මාධ්‍යයෙන් “අතුරුදහන් වූ” අතර ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ මේ ආකාරයේම පුවත් මැවෙන්නට පටන්ගත් නමුත් පසුව වේවැලක්ද සමගින් නැවත පෙනී සිටියේය. මේ වතාවේ කටකතා වඩාත් බැරෑරුම් වන්නේ එක් වාර්තාවක් මගින් ඔහු නිසොල්මන් තත්වයක (සිහිය තිබුණද, අවධානයක් ඇති බව හෝ ප්‍රතිචාර දැක්වීමක් නොමැති අවස්ථාවක්) සිටින බව සඳහන් වීමත්, නිර්නාමික ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීයෙකු සීඑන්එන් වෙත ඔහු ඉතා “බරපතල අනතුරක” සිටින බව පැවසීමත් නිසාය. 1986 දී, දකුණු කොරියානු හමුදාව විසින් කිම් ඉල්-සුං මියගිය බව ප්‍රකාශ කළ විට, ප්යොංයැංහි රාජ්‍ය මාධ්‍ය වහාම එය ප්‍රතික්ෂේප කළ අතර රාජ්‍ය නායකයා ප්යොංයැං ගුවන් තොටුපලේදී මොන්ගෝලියානු අමුත්තන්ට සුබ පතන බවද දැක්වෙන වාර්තා ප්‍රසිද්ධ කළේය. නමුත් මේ වතාවේ, දින ගණනාවක් තිස්සේ අන්තර්ජාලය තුළ විවිධ කටකතා හා තොරතුරු පැවතුනද, උතුරු කොරියානු පාර්ශවයෙන් ලැබුණු වාර්තා සනාථ කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවූ අතර, එය කටකතා කම්හල්වලට ඉන්ධන එකතු වීමක් වගේ විය.

නිශ්චිතවම තහවුරු කළ හැකි කරුණ නම්, කොරෝනා වෛරස් අර්බුදය මුළු ලෝකයම කම්පා කරන මොහොතක(උතුරු කොරියාව ප්‍රකාශ කරන්නේ නම් රට තුළ වෛරස් ආසාදිතයින් නොමැති බවයි), කිම් ජොන් උන් මේ වන විට මහජනතාවගේ අවධානයට සහ දෘෂ්ටියට ලක්ව නොමැති බවයි. මේ තත්වය තුළ අවම වශයෙන් විය හැකි තත්වයන් තුනක්වත් තිබේ. පළමුව, ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වාර්තා සත්‍ය විය හැකි අතර ඔහු බරපතල තත්වයක හෝ සුවය ලබමින් සිටිය හැක. දෙවනුව, නිරන්තරයෙන් දුම් පානය කරන්නෙකු සහ අධික බරක්(ස්ථූලතාවයක්) ඇති කිම් ජොන් උන් වෛරස් අර්බුදයේ දී මහජනතාවගෙන් වෙන්ව සිටිනවා විය හැකිය. නැතහොත් ඔහුගේ පසුබැසීම කිසියම් උපායික සැලැස්මක කොටසක් විය හැකිය.

කිම් ජොන් උන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වාර්තා, ලෝක නායකයෙකු හෝ නිල වශයෙන් බුද්ධි අංශ නිලධාරියෙකු විසින් හෝ තහවුරු කර නොමැත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් වාර්තාව ගැන විමසූ විට ඔහු එය හැඳින්වූයේ “වැරදියි” යනුවෙනි. දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ-ඉන්ගේ ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ උපදේශක මූන් චුන්-ඉන් අප්‍රේල් 26 ඉරිදා පැවසුවේ “කිම් ජොන් උන් ජීවතුන් අතර හොඳින් සිටින” බවයි. ඔහු කියා සිටියේ කිම් ජොන් උන් අප්‍රේල් 13 වනදා සිට නැගෙනහිර වෙරළබඩ නවාතැනක් වන වොන්සාන් හි නැවතී සිටින බවයි. උතුරු කොරියාව ඉලක්ක කරගත් වෙබ් අඩවියක් වන “38 North” අප්‍රේල් 25 සෙනසුරාදා දින චන්ද්‍රිකා ඡායාරූපයක් නිකුත් කරමින් කියා සිටින්නේ එය වොන්සාන් හී “ලීඩර්ශිප්” දුම්රිය නැවතුම්පොලේ නවත්වා ඇති බව පෙනෙන “කිම්ට අයත් විය හැකි” දුම්රියක චන්ද්‍රිකා ඡායාරූපයක් බවයි. “දුම්රිය තිබීම … කිම් රටේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රභූ ප්‍රදේශයක නැවතී සිටින බවට පළ වන වාර්තා වලට බරක් සපයයි” යනුවෙන් එම වාර්තාව වැඩිදුරටත් කියා සිටී.

අනුප්‍රාප්තිකයා විය හැක්කේ කවුද?

කිම් ජොන් උන්ගේ “අතුරුදහන් වීම” ඔහුගේ අනුප්‍රාප්තිකයා විය හැක්කේ කවුරුන්ද යන්න පිළිබඳ කතිකාවක් ඇති කර තිබේ. පසුගිය සතියේ එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන්ගෙන් වාර්තාකරුවන් මෙම ප්‍රශ්නය ඇසූ විට ඔහු පැවසුවේ “මූලික උපකල්පනය අනුව, ගොඩක් දුරට, සමහරවිට හෝ බොහෝ දුරට ඒ පවුලේ කෙනෙකු විය හැකිය” යනුවෙනි. එහෙත් කිම් ජොන් උන්ගේ තත්වය ගැන “නොදන්නා” නිසා ඒ ගැන කතා කිරීම සුදුසු නොවන බව පවසා ඇත.

කිම් ජොන් උන්ගේ බාල සොහොයුරිය වන කිම් යෝ-ජොං බොහෝ දුරට අනාගත අනුප්‍රාප්තිකයා විය හැකි බව සැලකේ. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන කිම් ජොන්-චොල් බොහෝ දුරට දේශපාලනයෙන් ඉවත්ව සිටින අතර කිම් යෝ ජොං පක්ෂයේ වැදගත් නායිකාවකි. ඇය දැනට කම්කරු පක්ෂයේ ප්‍රචාරක හා කාලීන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියයි. ඇය 2018 වසරේදී ශීත ඍතු ඔලිම්පික් උළෙල අතරතුර දකුණු කොරියාවට ගිය අතර කිම් ජොන් උන් සහ ට්‍රම්ප් සහ දකුණු කොරියානු නායක මූන් සමඟ පැවති හමුවට ද සහභාගී වී තිබේ. කිම් යෝ ජොන් කිම් පවුලේ පිරිමින් විසින් දැඩි ලෙස පාලනය කරන ලද සාදයක දී “​​නැගී සිටීමක්” සිරස්තලයක් බවට පත් වී තිබුණි. ජනමාධ්‍යවේදී බාබරා ඩෙමික් ද නිව් යෝර්කර්හි ලියා ඇති පරිදි, කිම් ජොන් උන්ගේ සෞඛ්‍ය පිළිබඳ ඇති කටකතා සත්‍ය නම් සහ උතුරු කොරියාව ඔහුගේ අනුප්‍රාප්තිකයා හඳුනා ගැනීමට උත්සාහ කරන්නේ නම්, “සූදානම්ව සිටින අවසාන මිනිසා” “බොහෝ විට කාන්තාවක් විය හැකිය”. යනුවෙනි.

ස්ටැන්ලි ජොනී විසින් ද හින්දු පුවත්පතට ලියූ ලිපියක් ඇසුරෙන් කළ පරිවර්තනයකි.

To Top