,
Covid-19

සජිත්ගේ සජබයේ නාම යෝජනා අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධීකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළව මෝසමක්

(රිවිර.LK, 2020 මැයි 12 පස්වරු 02.35ට)

2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සඳහා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් “සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර නිෂ්ප්‍රභ කරන ලෙස නියෝග කරමින් මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එම පෙත්සමට අදාළව මෝසමක් ඉදිරිපත් කරමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල බාලසූරිය ඉල්ලා සිටින්නේ අදාළ පෙත්සම මැයි මස 18, 22 හෝ 28 යන දිනයන් අතුරින් එක් දිනයක කැඳවන ලෙසයි.

අදාළ පෙත්සම ගොනු කර ඇත්තේ සමාජ ජාල ක්‍රියාකාරියෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන ඕෂල හේරත් විසිනි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජික රත්නජීවන් හූල්, එහි සාමාජික නලින් අබේසේකර යන තිදෙනාත්, සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති සේනක හරිප්‍රිය ද සිල්වා, එහි ලේකම් ඩයනා ගමගේ යන පිරිසයි.

රිට් පෙත්සම මගින් කියා සිටින්නේ කුමක් ද?

අදාළ පෙත්සම මගින් පෙත්සම්කරු කියා සිටින්නේ “සමගි ජන බලවේගය” වශයෙන් නාම යෝජනා බාර දී තිබෙන පක්ෂය ගොඩ නගා ඇත්තේ “අපේ ජාතික පෙරමුණ” නැමති පක්ෂය පදනම් කරගෙන බවයි.

එහෙත් සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර පත් කිරීමේ දී අදාළ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිසි අනුමැතිය හිමිවී නොමැති බව පෙත්සම්කරු පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් අත්සන්කොට මැතිවරණ කොමිසමට බාර දී තිබෙන නාම යෝජනා සියල්ල නීතියට පටහැනි බව පෙත්සම්කරු කියා සිටිනවා.

කරුණුු කාරණා එසේ හෙයින් අදාළ පක්ෂයේ නාම යෝජනා පත්‍ර බාර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැති බවට තීන්දු කොට එම නාමයෝජනා බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ඕෂල හේරත් සිය රිට් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top