,
News

රාජිතගේ ඇප කැන්සල්, සම්පූර්ණ කතාව මෙතැනින්

(රිවිර.LK, 2020 මැයි 13 පස්වරු 01.10ට)

“සුදුවෑන් මාධ්‍ය හමුව” සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය මැයි 13 නියෝග කළා.

ඒ නීතිපතිවරයා මහාධිකරණයට යොමු කළ ප්‍රතිශෝධන පෙත්සමකට අනුවයි.

සුදුවෑන් මාධ්‍ය හමුව සහ රාජිතගේ සම්බන්ධය ගැන නඩුවේ පසුබිම

2019 ජනාධිපතිවරණය සමයේ එනම් නොවැම්බර් 10 දින තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ ස්ථානයක පැවත්වූ “සුදුවෑන් මාධ්‍ය හමුවේ” දී පසුගිය 2015 පෙර සමයේ දී “පුද්ගලයින් අතුරුදහන් කිරීම” සම්බන්ධයෙන් චෝදනා කරමින් ඒවාට සම්බන්ධ වූවන් යැයි කියාගත් දෙදෙනෙක් සමග එම මාධ්‍ය හමුව පැවත්වූවේ රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව එම මාධ්‍ය හමුවට අදාළව පොලිස් පරීක්ෂණ ආරම්භ වූ අතර ඊට සහභාගී වු “අදාළ සිදුවීම්වලට සම්බන්ධ බව කී දෙදෙනා” පළමු සැකකරු සහ දෙවැනි සැකකරු වූ අතර අදාළ පරීක්ෂණයේ දී තුන්වන සැකකරු ලෙස නම් කර තිබුණේ රාජිත සේනාරත්න යි. ඒ අනුව ඔවුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නඩු පැවරූ අතර නීතිපතිවරයාගේ උපදෙස් මත රාජිත සේනාරත්නව අත්අඩංගුවට ගැනීම වරෙන්තු ලබා ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය දෙසැම්බර් 24 දින නියෝග කර තිබුණා.

එහෙත් ඒ සමගම රාජිත සේනාරත්න අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබූ අතර පොලීසියට ඔහුව සොයා ගැනීමටද හැකියාවක් ලැබුණේ නෑ.

අත්අඩංගුවට ගැනීම සහ ඇප ලබා දීම

එහෙත් දෙසැම්බර් 26 දින සිට ඔහු කොළඹ ලංකා හොස්පිටල්ස් රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටියා. ඒ අනුව දෙසැම්බර් 27 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව රෝහලේ සිටිය දීම අත්අඩංගුවට ගෙන තිබුණි.

එහෙත් හිටපු අමාත්‍යවරයාගේ ඇප අයදුම්පත සළකා දෙසැම්බර් 30 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයක් නිකුත් කළා. ඒ අනුව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව රාජිත සේනාරත්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දීමට ද නියෝග කළා.

ඇප අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

මේ අතර ඇප නියෝගය අවලංගු කරන්නැයි ඉල්ලා නීතිපති විසින් ජනවාරි 9 දින කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

එමගින් නීතිපතිවරයා කියා සිටියේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ඇප ලබාදීමේ දී පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිවක් අධිකරණය විසින් සැලකිල්ලට භාජනය නොකළ බවයි.

එමෙන්ම දෙසැම්බර් 27 දින නාරාහේන්පිට ලංකා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් රාජිත සේනාරත්නගෙන් විමර්ශන සඳහා අවශ්‍ය ප‍්‍රකාශයක් හෝ සටහන් කරගෙන නොතිබූ අවස්ථාවක, පැමිණිල්ලේ විරෝධය ද නොතකා ඇපමත මුදාහැරීම යුක්තිසහගත නොවන බව ද නීතිපතිවරයා එම පෙත්සම මගින් පෙන්වා දී තිබුණා

එසේම වරෙන්තු නියෝගයක් නිකුත් කළ දින සිට දින දෙකකට ආසන්න කාලයක් විමර්ශන නිලධාරීන් මගහැර සිටිමින් “හදිසි රෝග තත්ත්වයක් ඇතිවූ බව පෙන්වා” රෝහල් ගතවූ සැකකරුගේ රෝග තත්ත්වය පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මගින් වාර්තාවක් කැඳවන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විවෘත අධිකරණය හමුවේ දී දින දෙකක්ම කළ ඉල්ලීම් පවා උගත් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ප‍්‍රතික්‍ෂේප කොට ඇති බවද නීතිපතිවරයා අදාළ ප්‍රතිශෝධන පෙත්සම මගින් මහාධිකරණයට පෙන්වාදී තිබිණි.

ඒ අනුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ ප්‍රතිශෝධනය පෙත්සමේ තීන්දුව මාර්තු 16 දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය මාර්තු 10 දින දැනුම් දුන්නා.

එහෙත් පසුව ඇති වූ කොරෝනා වසංගත තත්වයත් සමග අදාළ තීන්දුව ලබා දීම ප්‍රමාද වූ අතර තීන්දුව මැයි 13 ලබා දීමට පසුව තීරණය කෙරුණා.

ඇප අවලංගු කිරීම

ඒ අනුව නීතිපතිවරයා ගොනු කළ අදාළ ප්‍රතිශෝධන පෙත්සම පිළිගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දෙසැම්බර් 30 දින නිකුත් කළ නියෝගයට අදාළ තීන්දුව මැයි 13 දින උදෑසන කොළඹ මහාධීකරණයේ දී ලබා දුන්නා.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමට අදාළ තීන්දුව දෙමින් මහාධීකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කර සිටියේ රාජිත සේනාරත්න ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ලබා දුන් තීන්දුව නීතිමය වශයෙන් මෙන්ම සිද්ධිමය වශයෙන් ද දෝෂ සහගත බවයි.

එමෙන්ම අදාළ සැකකරු ඇප මත මුදා හැරීමෙන් පසුව “අධිකරණය මගහැර යාමට අවකාශයක් නොමැති බවට” ඇප මත මුදා හරින අවස්ථාවේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පැමිණ තිබූ නිගමනය ද දෝෂ සහිත බව මහාධිකරණ විනිසුරුවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියා.

මහාධීකරණ විනිසුරුවරයා විසින් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ අදාළ සැකකරුට ඇප ප්‍රදානය කිරීමට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඔහු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ලවා සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් කැඳවීමට අවකාශ තිබූ බවයි. එහෙත් මහේස්ත්‍රාත්වරිය එසේ කටයුතු නොකිරීම ගැටලු සහගත බව ද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කළා.

තවද බන්ධනාගාර පනත අනුව රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලබන සැකකරුවකු රෝගී වූ විට බන්ධනාගාර රෝහලේ හෝ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන රජයේ පාලනය යටතේ ඇති රෝහලක පමණක් රඳවා තැබිය යුතු බව නීතියේ සඳහන් වන බව අධිකරණයේ අවධානයට ලක් වූ බව ද විනිසුරුවරයා සඳහන් කළා.

ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීම මගින් බන්ධනාගාර පනතේ 65 වන වගන්තිය උල්ලංඝනය වී ඇති බවත් නීතියට පටහැනි ක්‍රියාවක් සිදුකර ඇති බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා.

ඒ සම්බන්ධයෙන් ද ඇප ලබා දීමේ ක්‍රියාවලිය තුළ මහේස්ත්‍රාත්වරිය සිය අවධානය යොමු නොකිරීම දෝෂ සහිත බව ද මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණය
හමුවේ කියා සිටියා.

නීතියේ ඇති මූලික සංකල්පයක් ගෙන හැර දැක්වූ මහාධීකරණ විනිසුරු මංජුල තිලකරත්න කියා සිටියේ “නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකු එක හා සමාන” බවට ස්වර්ණමය සිද්ධාන්තයක් පවතින බවත් එක් පුද්ගලයෙකුට පමණක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දීම තුළින් සෙසු සිරකරුවන්ට ද එම අයිතිවාසිකම භුක්ති විඳීමට තිබෙන අවකාශය අහිමි වන බව විශේෂ අවධානයකට ලක් කළ මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කර සිටියේ සමස්තයක් වශයෙන් ගත් විට අදාළ ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඊට අදාල සිද්ධි හා නීතිමය කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීම දෝෂ සහිත තත්ත්වයක් බවයි. එවැනි දෝෂ සහගත නියෝගයක් හරහා අධිකරණයේ මනස බරපතළ ලෙස කම්පනය වන ආකාරයේ දෝෂයක් හටගෙන ඇති බවද වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එම සියලු කරුණු සළකා බැලූ අධිකරණය, රාජිත සේනාරත්න ඇප මත මුදා හරිමින් 2019 දෙසැම්බර් මස 30 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු ඇප නියෝගය ඉවත දැමීමට මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න තීන්දු කළා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා මහාධිකරණ තීන්දුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියා.

සැකකරුවන්ට ඇප ලබා දීම හා බන්ධනාගාර ගත වූවන් රෝහල්ගත වීම ගැන මාර්ගෝපදේශයක්

මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් ඇප නියෝගය ඉවත දැමීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කර සිටියේ මෙම මහාධීකරණ තීන්දුව “බන්ධනාගාර ගතවන සැකකරුවන් පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලැබීම සම්බන්ධයෙන්” යහපත් මාර්ගෝපදේශයක් සපයන තීන්දුවක් බැවින් මහාධීකරණයට තමන් ස්තූති කරන බවයි.

බන්ධනාගාර ගත කරන සැකකරුවන් පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලැබීම සම්බන්ධයෙන් පොදු ජන සමාජය තුළ දැඩි විචේනයක් පැවති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියා.

ඒ අනුව මෙම නඩු තීන්දුව හරහා “සැකකරුවන්ට ඇප ලබා දීම” යන කරුණ සම්බන්ධයෙන් දිවයිනෙ සියලුම මහේස්ත්‍රාත්වරුන්ට හොඳ මාර්ගෝපදේශයක් සපයන නඩු තීන්දුවක් වනු ඇතැයි ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කර සිටියා.

සම්බන්ධිත පුවත්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top