,
News

ජනපතිගෙන් මහ බැංකු නිලධාරීන්ට යළිත් උපදෙස් මාලාවක්

(RIVIRA.LK, 2020 ජුනි 29 පස්වරු 06.55ට)

අර්බුදයට ගොස් ඇති ETI මුල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා. ඒ, ජුනි 29 වන දින දහවල් එම මුල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සිදුවන ආකාරය සොයා බැලීම පිණිස ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.

ජනාධිපති කාර්යාලය, මහ බැංකුව, භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථාපනය කොට ඉදිරි ක්‍රියාමාර්ග අධීක්ෂණය කළයුතු බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ETI ආයතනයේ ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ඇති බවත් මහ බැංකුව මේ සමාගම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණි.

ආයතන දෙකෙහිම ලක්ෂ 06ට අඩු වටිනාකමක් සහිත තැන්පතු හිමියන්ට ගෙවීම් අවසන් කිරීම පළමු අදියර යටතේ සිදු කරනු ලබයි. එමෙන්ම, ආයතන දෙක සතු සියලු දේපළ අත්පත් කරගෙන හෝ සෙසු ගණුදෙනුකරුවන්ට ද සාධාරණයක් ඉටු කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

මීළග මුදල් මණ්ඩල රැස්වීමේදී ජනතා චෝදනා සහ දුක් ගැනවිලි විමර්ශනය කොට උපරිම විසඳුම් දීමට ක්‍රියාකරන බවට මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මෙහිදී සහතික වී ඇති අතර මහ බැංකුවේ අඩු පාඩු නිවැරදි කොට ජනතාවට ඝෘජුව බලපාන ප්‍රශ්න විසඳීමටත්, ආයතනයේ ගෞරවය සහ වගකීම තහවුරු කිරීමටත් පියවර ගන්නා බව මහබැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ETI සහ ද ෆිනෑන්ස් ආයතන සතු දේපළ හඳුනාගෙන නඩු පැවරීමකින් තොරව පවරාගෙන ජනතාවට හිමි මුදල් ආපසු ගෙවන බව පැවසූ ජනාධිපතිවරයා මුල්‍ය ආයතනවලට ණය ගෙවීම් පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව දැඩිව ක්‍රියා කරන බවට ද අවධාරණය කර සිටියා.

Rivira Ads
To Top