,
Business

රාගම බ්‍රවුන්ස් මෙල්ස්ටා රෝහලේ නිලධාරියාට කොරෝනා ආසාදිත බව තහවුරු වෙයි, රෝහල තාවකාලිකව වසා දමයි

Custom Text

(RIVIRA.LK, 2020 ජුලි 14 පස්වරු 07.32ට)

රාගම ප්‍රදේශයේ පිහිටි බ්‍රවුන්ස් මෙල්ස්ටා පුද්ගලික රෝහල තාවකාලිකව වසා දැමීමට අදාළ රෝහලේ පරිපාලනය පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ජූලි 14 දින විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ එම රෝහලට සති දෙකකට පමණ පෙර සේවයට පැමිණි නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බවයි. ඒ සමගම රෝහල් කාර්ය මණ්ඩලයේ 45 දෙනෙකු පීසීආර් පරීක්ෂණවලට භාජනය කළ බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.

එසේම එම රෝහලේ ආසාදිත නිලධාරියා රජයේ රෝහලක ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ඔහුගේ සමීප ආශ්‍රිතයින් බව සැලකෙන රෝහලේම සේවකයින් කිහිප දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කළා.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදිත වූ කාර්ය මණ්ඩල සාමාජිකයා 2020 ජූලි මස 01 වැනි දින රාගම මෙල්ස්ටා රෝහලේ සේවය ආරම්භ කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේශන පැවත්වීම සඳහා එහි ගොස් තිබූ බව ද වාර්තා වේ.

ඒ අනුව එහි ගොස් පැමිණි පසු යම් යම් රෝගී තත්වයන් පහළ වීමත් සමග ඔහු විසින් ස්වේච්ඡාවෙන්ම පෞද්ගලික සෞඛ්‍ය ආයතනයකට ගොස් PCR පරීක්ෂණය සිදු කරගෙන ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබෙනවා.

පසුව කන්දකාඩු මධ්‍යස්ථානයේ පැතිරීම ආරම්භ වූ පසු සෞඛ්‍ය අංශ විසින් ඔහුව කොළඹින් පිටත නිරෝධායනයට ලක් වීම සඳහා ලියාපදිංචි කර ඇති අතර ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ එහිදී සිදු කෙරුණු පීසීආර් පරීක්ෂණයෙන් පසුවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ වෛරසය ආසාදිත පුද්ගලයාගේ රෝහල් කාර්ය මණ්ඩල ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොතිබුණහොත් රාගම මෙල්ස්ටා රෝහලේ කටයුතු පෙර පරිදිම පවත්වාගෙන යා හැකි බවයි.

http://rivira.lk/advertising/
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top