,
News

රැකියා අහිමි වූ ජෝර්දානයේ ශ්‍රී ලාංකිකයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

Custom Text

(RIVIRA.LK, 2020 ජුලි 28 පෙරවරු 11.40ට)

ලෝකය පුරා පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජෝර්දානයේ රැකියාවල නිරත වී සිටි ශ්‍රී ලාංකිකයින් රැසකට තම රැකියා අහිමි වී තිබෙනවා. රැකියා අහිමි වී සිටි පිරිසක් රැස්ව සිටි අවස්ථාවක ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා එරට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළ බව රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයින් රිවිර.lk වෙත සඳහන් කළා.

ජූලි 27 දින ජෝර්දානයේ අල්කාරා ප්‍රදේශයේ ඇති කර්මාන්තපුරයක සේවය කර පසුව රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් එලෙස කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්ව තිබුණා.

රැකියා අහිමි වී තිබීමේ තත්වය පිළිබඳ ලැබුණු වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීමට ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් අදාළ කාර්මාන්තපුරයට ගිය අවස්ථාවේ දී අදාළ තත්වය ඇති වී තිබෙනවා. කෙසේ වෙතත් එම ශ්‍රී ලාංකිකයින් පවසන්නේ තමන්ට රැකියා අහිමි වී දැනට මාස 5ක් පමණ ගත වී ඇති බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රකාශය

ජෝර්දානයේ රැකියා කළ ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ රැකියා අහිමි වීම සම්බන්ධයෙන් සොයා බැලීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් කර්මාන්තපුරයට ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරනවා.

එහිදී රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයින් 340ක පමණ පිරිසක් අදාළ නිලධාරීන්ට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර එය පාලනය කිරීම සඳහා ජෝර්දාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව දැන ගැනීමට ලැබුණු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය සඳහන් කළා.

ජෝර්දානයේ අල්කාරා ප්‍රදේශයේ කර්මාන්ත පුරවරයක පිහිටා තිබෙන ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩකරන ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසකට මෙම ගැටළුට මුහුණ දීමට සිදුව ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අදාළ කර්මාන්ත ශාලාවල සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය ඇණහිට ඇති බැවින් රැකියා අහිමිවෙන තත්ත්වයක් උදා වී ඇති බවයි.

නමුත් එම පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා තානාපති කාර්යාල නිලධාරීන් එම ස්ථානයට ගිය ද එම අවස්ථාවේ ඇති වූ කථාබහක් හේතුවෙන් යම් කළහාකාරී තත්ත්වයක් ඇති බවත් එය සමනය කිරීම සඳහා ජෝර්දාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

http://rivira.lk/advertising/
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top