රසරැස

ධර්මපි‍්‍රය අනෝජාගේ නිවහනට ගියෙමු

මේ දවස්වල කාගේත් දෙසවන රැව්දෙන එක ම කතාබහ දේශපාලන කතා ය. ඒවාට ඉල්ලක්ක වන දේශපාලනඥයන්ද කිහිපදෙනෙකි. ඒ තරමට ඒ කතාබහ මිනිසුන්ගේ ජීවිතයට බලපා තිබේ. මේ දවස්වල රූපවාහිනිය නරඹන අය කතාබහ කරන තවත් අමුතු දේශපාලනඥයෙක් ද සිටියි. ඒ හර්ෂදේව ඇමති ය. ඒ කතා තරමටම ස්වර්ණවාහිනියේ විකාශය වන ‘ක්වීන්’ ටෙලි නාට්‍යයේ එන මේ ඇමැතිව දකින ඕනෑම කෙනකුගේ මුවඟට නඟින්නේ වෙනස්ම වචන කිහිපයකි. ඒ වචන කිහිපය ද මුවඟට නඟා ගනිමින් මා ඇමැතිව සොයාගෙන පසුගිය දිනෙක ඔහුගේ නිවෙස සොයා කැස්බෑවට ගියෙමි.

මා දුටුවේ බාගෙට වැඩ නිම කරන ලද නිවෙසකි. සිතට උපන්නේ දෙගිඩියාවකි. මේ ඒ සිටි ඇමැතිගේ ම නිවහන ද යන්න ගැන ය. මන්ද එහි සිටිය ඇමැතිගේ ක්‍රියාකලාපය අනුව නම් මෙතැන එවන්නක් නොතිබිය යුතු බැවිනි. ඒ සිතිවිල්ලේ සිටින විට ඉදිරිපස දොරොන් මතු වූයේ දරුවෙකි. ඔහුත් සමඟම ඔන්න ඒ ඇමැතිගේ රුව අප ඉදිරිපසට පැමිණියේය. ඔහු අප ඇමතුවේ නම් ඇමැති චරිතයෙන් හා ඒ ස්වරයෙන් ඈත්ව ය.

“ධර්මප්‍රිය ඩයස්”

පෙනෙන්න තිබෙන්නේ ඔහුට මේ දවස්වල හර්ෂදේව ඇමැතිගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර නම් වඩාත් හොඳ වග ය.

“මා හිතුවාට වඩා හොඳට ඒ චරිතය ගැන මිනිස්සු අතර කතාබහට ලක් වෙනවා. කාලයක් තිස්සේ මා එක චරිතයකට කොටු වෙලා සිටියා. ඒ නිසා රංගන ශිල්පියකු විදියට විවිධ චරිත රඟපාන්න ලැබෙන එක හොඳයි. ඒ ගැන සතුටුයි. වෙනස් චරිතයක් වෙනස් විදියකට ඉදිරිපත් කරන විට ඒක ප්‍රේක්ෂකයා දැන ගන්නවා නම් වඩාත් හොඳ බවයි මා සිතන්නේ.”

නරඹන්නන් අතර කතාබහට ලක් වන විශේෂ කාරණය වන්නේ හර්ෂදේව ඇමැතිගේ චරිතය මඟින් සමහර ඇමැතිවරුන්ගේ සැබෑ තත්ත්වය නිරූපණය වන බව ය.

“එය සැබෑවක් ද?”

“ඇත්තටම මට සතුටක් දැනෙනවා. මම රඟපාන චරිතයකින් මිනිසුන්ට එවැනි දෙයක් හැඟෙනවා නම්. එවන් දෙයක් හෙළිවෙනවා නම්. මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ සුපුන් රත්නායකයි. මේ නාට්‍යයේ නිෂ්පාදකවරයා වන්නේ ජනකයි. ඔහුව මා දන්නේ කුඩා කාලයේ පටන්. ඔහුයි මට මේ චරිතයට ආරාධනා කරන්නේ. මෙහෙම චරිතයක් තියෙනවා කරමු ද කියලා. ඉතින් මා ඒ චරිතයට ගැළපුණා.”

ඒ නිර්මාණවලට අමතර ලක්ෂ්මි දමයන්ති නිෂ්පාදනය කළ ‘සුළඟ මහමෙරක’ කියන ටෙලි නාට්‍යය ද හැඩ වන්නේ ඔහුගේ රංගනයෙනි. ඒ නිසා ධර්මප්‍රිය ඩයස් යන රංගන ශිල්පියාට රංගන කටයුතුවලින් ඉවත් වී ඉන්න නම් කිසිදිනෙක නොලැබෙන සෙයකි.

“මේ දවස්වල ක්‍රිස්ටෝපර් කියන අධ්‍යක්ෂවරයාගේ ‘පාස්පෝට් චිත්‍රපටයේ වැඩ කටයුතු රූගත කිරීම් කෙරෙනවා. ඔහු යමක් කරන්න උනන්දුවක් තිබෙන අධ්‍යක්ෂවරයෙක්. මා රඟපෑ තවත් ටෙලි නාට්‍ය කිහිපයක්ම එන්න තිබෙනවා. ඒ වගේ ම හිරු රූපවාහිනි නාළිකාවේ ‘හුස්මක් තරමට විකාශය වෙනවා.”

ඒ වගේ ම ඔහු සිය රංගන කටයුතු අතර වඩාත් කාර්යබහුල වී ඇත්තේ ඔහු කවදත් ආදරය කරන වේදිකාව නිසා ය. වේදිකාවේ රඟපෑමට අමතරව ඔහු අලුත්ම කාර්යයකට අතගසා සිටියි. යළිත් ඔහු අලුත් වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීම සඳහා ය. මේ දවස්වල දිගින් දිගටම එහි පුහුණු වීම් සමඟ කාලය ගත කිරීමට වගබලා ගෙන ඇති බවකි අපට පෙනෙන්නේ.

“‘සාදය මාරයි සල්ලි හමාරයි’ නාට්‍යය අවරුදු තුනක් විතර වේදිකා ගත වුණා. නැවතත් ඒ වගේ රසවත් අත්දැකීමක් ප්‍රේක්ෂාගාරයට ලබාදෙන්නයි මට වුවමනා වුණේ. මේ නාට්‍යයත් රේකූනිගේම නාට්‍යයක්. මෙය පරිවර්තනය කළේ සමන් පුෂ්ප ලියනගේ. ඒ ඇසුරෙන් අනුවර්තන පිටපත සකසා ගත්තේ මම. අපේ මීට පෙර වේදිකා ගත කරන ලද ‘සාදය මාරයි සල්ලි හමාරයි’ වේදිකා නාට්‍යය අත්දැකීම හා සමාන අත්දැකීමකුයි මේ අලුත් නාට්‍යයෙන් ගෙනෙන්නේ. ප්‍රේක්ෂකාගාරයට වඩාත් අර්ථාන්විත ප්‍රහසනයක් ගෙන එන්නයි මා බලාපොරොත්තු වන්නේ. ‘සාදය මාරයි සල්ලි හමාරයි’ දෙසැරය, හත් අට සැරය නරඹලා සතුටු වුණු ප්‍රේක්ෂකයන්ට තවත් එවැනිම අත්දැකීමකුයි මේ නාට්‍යයෙන් ලැබෙන්නේ. අලුත් වේදිකා නාට්‍යය නම් කරලා තිබෙන්නේ ‘මම නෙවෙයි වෙන කෙනක්’ කියන නමින්. එහි පුහුණු වීම් එක්කයි මේ දවස්වල මගේ වැඩිපුර කාලය ගතවන්නේ. මේ මාසයේ 25, 26, 27 කියන දවස් තුනේ බොරැල්ල නාමෙල් – මාලිනී පුංචි තියටර් එකේදියි එහි මංගල දර්ශනය වේදිකා ගත වීමට නියමිත වන්නේ. මේ නාට්‍යයේ ජයනි සේනානායක, ශ්‍යාම් ප්‍රනාන්දු, සම්පත් ජයවීර, අනුරාධ මල්ලවාරච්චි, තුසිත ලක්නාත්, තෙරුණි ආසංසා, පසන් රණවීර යන නළු නිළි කැළ රංගනයෙන් සහභාගි වෙනවා. මෙහි නිෂ්පාදකවරයා වන්නේ ලක්මාල් ගුණවර්ධන. ඔහු වැනි නිෂ්පාදකවරයකු ලැබීම මට සතුටක්. අද නිෂ්පාදකවරයකු සොයා ගැනීමට අපහසු වූ කාලයකයි ඔහු මට සහයෝගය දක්වන්නේ. මට ලැබුණු නිෂ්පාදකවරුන් දෙදෙනාම හොඳයි. අනෙක් කෙනා ප්‍රියංකර ද සිල්වායි. ඒ අතර රාජිතගේ නාට්‍ය ‘හිතලා ගත්තු තීරණයක්’, ‘නැතුව බැරි මිනිහෙක්’, කපිල කුමාර කාලිංගගේ ‘බැංකු වීරයා’ කියන නාට්‍යයත් මේ දවස්වල වේදිකා ගත වෙනවා.”

ඔහු රංගන කටයුතුවල පමණක් නියැළෙන රංගන ශිල්පියකු පමණක් නොවේ. දෙහිවල ශාස්ත්‍රානන්ද විද්‍යාලයේ ගුරුවරයකු ද වෙයි. මේතරම් කාර්යභාරයක් කරන අතරතුර ධර්මප්‍රිය ඩයස් සිය ගුරු භූමිකාවේ නියැළෙන්නේ සිය සිසු දරුවන්ට කළ යුතු යුතුකම් ද අමතක නොකරමිනි.

“පාසල් දරුවන් වෙනුවෙන් සිදු කළ යුතු සියලු වගකීම් ඉටු කිරීමටයි මා පළමුව වගබලා ගන්නේ. මා කරන්නේ ගුරු වෘත්තිය නිසා පාසල් කාලයෙන් පසුවත්, සෙනසුරාදා, ඉරිදාත්, පෝය නිවාඩු, මාස තුනකට සැරයක් මාසයක නිවාඩුවකුත් ලැබෙනවා. ඒ වගේම මට පාසලේ විදුහල්පතිතුමා හා ගුරු මණ්ඩලයේ ලැබෙන සහයෝගයත් සිහිපත් කළ යුතුයි.”

ධර්මප්‍රියට පාසලෙන් මෙලෙස සහයෝගය ලැබෙන විට ඔහුගේ ජීවිතයේ සෙවණැල්ල මෙන් සිටිමින් උදවු කරන කෙනෙක් ද වෙයි. ධර්මප්‍රිය ඩයස්ගේ ආදරණීය බිරිය අනෝජා මිලන්ති ය.

“නිවෙසේ කටයුතුවලට වැඩිපුර මැදිහත් වීමේ අවස්ථාවක් මට ලැබෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම සොයා බලමින්, කිසිම විරෝධතාවක් නැතිව සියලු කටයුතු කෙරෙන්නේ මගේ බිරියගේ සුරතින්. ඇගෙන් එවැනි සහයෝගයක් නොලැබෙන්න මට මේ කිසිම කටයුත්තක් පිළිවෙළකට කරන්න ලැබෙන්නේ නැහැ.”

සිය බිරියගේ කාර්යශූර බව ධර්මප්‍රියට සැනසිල්ලකි. ඒ සැනසිල්ල නිසාම බොහොම සැහැල්ලුවෙන් ඔහු රංගනයේ නිරත වෙයි. අනෝජාට ද සිය සැමියා ගැන ඇත්තේ ආඩම්බරයකි.

“ධර්මප්‍රිය වගේ සැමියකු ලබන්න මා ගොඩක් වාසනාවන්තයි.

ඔවුන් දෙදෙනාගේම දෙනෙත් බඳු දෙදෙනෙකි. ඒ ලොකු පුතා ස්වර්ණ රාවණ ය. පොඩ්ඩා ප්‍රවර භාෂණ ය. දෙදෙනාම ඉගෙනුම ලබන්නේ නිගම්බු සවුත් ජාත්‍යන්තර පාසලේයි.

“ඒ දෙන්නා රංගන කටයුතුවලට සම්බන්ධ වෙනවා අප දැකලා නැහැ. ඒ ඇයි?”

“ලොකු පුතා 6 ශ්‍රේණියේ. පොඩි පුතා 2 ශ්‍රේනියේ. දෙන්නාම හොඳීන් ඉගෙන ගන්නවා. නිදහසේ කාලය ගත කරනවා. ඒ අයට ළමයින්ව සිටින කාලයේ ළමයින් වගේ ජීවත් වෙන්න උපරිමේ උදවු කරන එකයි මගේ අදහස වන්නේ. ඒ අයට කැමැති විදියක, කැමැති කාලයක ඒ දේවල් කරපු දෙන්. ඒ අය පිළිබඳ මගේ අදහස ඒකයි.”

ඔහු මීට වසර කිහිපයකට කලින් සිටි තැන වෙනස් කරමින් එතැනටම මීටර් කිහිපයක දුරින් සිය පදිංචිය සඳහා භූමි භාගය තෝරාගෙන ඇත. එතැන ඉදිවන අලුත් නිවෙසකි.

“මෙතැනට ඇවිත් ටික කාලයක් වෙනවා. අලුතින් ගෙයක් භාගෙට හදලා තියෙනවා. හෙමින් හෙමින් ඉතිරි ටිකත් හදන්නයි ඉන්නේ.”

ඒ නිවෙසේ අවට බිම් භාගයේ මෑකරල් වැල් කිහිපයකි. බණ්ඩක්කා පාත්තියකි. ධර්මප්‍රිය ඩයස්ගේ විවේකයේ ප්‍රතිඵලයි ඒ.

“කුඩා කලයේ පටන්ම වගා කරන්න මං කැමැතියි. මං නිසා හිතවත්තු කිහිපදෙනකුත් ඒකට පෙලඹිලා තියෙනවා. මෙතන තියෙන්නේ පුංචි ඉඩක් වුණාට ඒ පරිසරය වගා කටයුතුවලට හදා ගන්න මට පුළුවන් වුණා. මල්ගස් ඉන්දලා ඒවා පිපුණා ම සතුටු වෙනවා වගේ වගා කරලා ඒ දිහා බලලා, ඒවාට සාත්තු කරලා අපේම දෙයක් කන්න මා කැමැතියි. විශේෂයෙන් ළමයි දැක්කම මට හිතෙන්නේ වස විසවලින් තොර කෑමක් එයාලට දෙන්න පුළුවන් නම් කියලා. හැම තිස්සේම නොවුණත් පුළුවන් හැම වෙලාවෙම ඒක කරන්න මා උත්සාහ ගන්නවා. ඒ වගේ කාර්යයක නියැළීම මනසට වගේම ඇඟටත් හොඳ බවයි මා සිතන්නේ.”

ඒ අතර පොඩ්ඩා ප්‍රවරගෙන් එක එක ප්‍රශ්න කිරීම් ය. ලොක්කා වැඩි කතබහක් නැතිව සිටිය ද දෙන්නා එකතු වූ කල දඟ මලු ය. දෙදෙනාගේ රණ්ඩු බේරීමට අනෝජාට වෙනම කාලයක් අවශ්‍ය ය. ඒ රණ්ඩුව වැඩි වන්නේ සිය අප්පච්චී නිවෙසට පැමිණෙන්න ආසන්නයේ ය.

“ඒ දෙන්නා ඔක්කොම වැඩ ටික කර ගන්නවා. ඒවා තාත්තාට පෙන්නන්න දෙන්න අතරම තියෙන්නේ තරගයක්. ඒ තරගය වැඩි වුණාමයි දෙන්නා අතර රණ්ඩු ඇති වන්නේ. පොඩි පුතා හරිම කටකාරයි. එයා මේ ළඟදි එයාගේ අයියාට අපූරු කතාවක් කිව්වා. ධර්මප්‍රිය ලෝක ළමා දිනයේ රිජ්වේ රෝහලට ගියා. ඒක ගැන ඇහුව පොඩි පුතා ඒක හොඳයි කියලා කිව්වා. පව් නේද ඒ ළමයි කියලත් කිව්වා. ඒ වගේ ම හැබැයි ඉතින් තාත්තලාට කියන්න ඕන ඒ ළමයි එක්ක විතරක් නොවෙයි ගෙදර ළමයි එක්ක ඉන්නත් වෙලාවක් හදාගන්න ඕන කියලා කිව්වා. මට ඉතින් හිනාව නවත්ත ගන්න බැරිව ගියා. ”

අනෝජා කියන්නේ පුතුන් දෙදෙනා දෙස බලමිනි. ඒත් ඔවුන් දෙදෙනා චිත්‍රපට නැරැඹීමට බෙහෙවින් කැමැති දරුවන් දෙදෙනෙකි. බොහෝ වෙලාවට සිය පියා සමඟ චිත්‍රපට නැරැඹීම ඔවුන්ගේ විනෝදාංශයකි. සමහර දිනෙක නිවාඩුවක් ලැබුණ හොත් සියල්ලන් එකතු වී නාට්‍යයක් නැරැඹීමට යෑම ද සිරිතකි.

“හැමෝම විවේකය ලැබුණු විටෙක හෝ යම් වෙලාවක් වේදිකා නාට්‍යයක්, චිත්‍රපටයක් නරඹන්න වෙන් කර ගන්නවා නම් වැඩිය හොඳයි.”

අවසාන වශයෙන් ධර්මප්‍රිය ඩයස් පැවැසුවේ සිනාමුසු මුවෙන් වුවද එහි ගතයුත්තක් වන බව සැලකිල්ලෙන් බලන කාට වුවද පෙනෙනු ඇත. ඒ ගැන ඔබගේ අවධානය යොමු වේවායි පතමින් ඒ සොඳුරු කැඳැල්ලෙන් මම සමුගත්තෙමි.
-sarasaviya

Rivira FB Group Rivira Youtube
To Top