ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සුළු දේශපාලන පක්ෂ විස්සකගේ පමණ සහයෝගය ඉදිරියේ දි ලැබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
අද(15) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඇල්පිටිය ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද 5000 කට වැඩිය ලබා දෙමින් සියයට 13 ක ප්‍රතිශතයක් වාර්තා කරමින් බලාපොරොත්කු වුණාටත් වඩා හොඳ ප්‍රතිඵලයක් හිමි වු බවද අමරවීර මහතා මෙහිදී පැවසීය.
එයින් ඉතා පැහැදිලි ලෙසම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වෙන ජනතාවක් රටපුරා සිටින බව පෙනී යන බවත් පැවසු ඒ මහතා, ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නායකත්වය ලබා දුන් වර්තමාන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සාමාන්‍ය ජනතාව වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි බවද කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා බාර දීමෙන් පසුව පළමුව ගියෙත් ඇල්පිටියට බව කියා සිටි මහින්ද අමරවීර මහතා, එක්සත් ජාතික පක්ෂයේ තිබුණු ඡන්ද පදනමිනුත් පහලට ගිය බව පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර ඡන්ද ප්‍රතිශතය සියයට 69 දක්වා ඉහළ ගිය බවත්, එයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේ තීරණාත්මක සාධකය බවට පෙනී යන බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
තොණ්ඩමන් මහතාගේ එකතු වීම සමඟ තවත් ඡන්ද එක් ලක්ෂ ගණනක් සන්ධානය සමඟ එකතු වු බවත් පැවසු අමරවීර මහතා, ඉදිරි දිනවල දී තවත් පක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් සමඟ බැඳී කටයුතු කර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සහය දැක්වීමට එකඟතාවයට පළ කර ඇතැයි ද පැවසීය.

