දේශපාලන

සජිත්ට TNA සහය ලැබෙනවා – රනිල් පක්ෂ නායක හමුවේදී කියයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දෙමළ ජාතික සන්ධාන‌යේ සහාය ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණේ සුළු ජාතික දේශපාලන පක්ෂ නායකයන්ට ඊයේ (16) දැනුම් දී ඇත.

එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරත්වය ප්‍රකාශ කරනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට ලබාගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.

මෙම කතා බහ සිදුව ඇත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස​යේ නායක අමාත්‍ය රවුෆ් හකීම් සහ දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි දිගම්බරන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරත්වය පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වැනිදා එළිදැක්වීමට නියමිතය. ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමට අමාත්‍යවරුන් පස්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිධුර අපේක්ෂකයන්ට කෝන්දේසි 13ක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ. ඔවුන් පවසන්නේ එම කොන්දේසි වලට එකඟ නම් සිය සහය ලබා දෙන බවයි.

– උදයජීව ඒකනායක

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top