කොළඹ ආනන්ද විද්‍යාලයේ සත් මහල් ගොඩනැගිල්ල මැතිවරණ නීති උල්ලංඝනය කරමින් විවෘත කිරීමට යාම නැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව පියවර ගෙන තිබේ.
මෙම ගොඩනැගිල්ල අද (22) විවෘත කිරීමට නියමිතව තිබූ අතර එහි ඉදිකිරීම් අවසන් නැති බැවින් විවෘත කිරීම වහාම නැවැත්වීමට උපදෙස් දුන් බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා යටතේ පවතින දිස්ත්‍රික් පැමිණිලි විමර්ශන කමිටුවේ නිලධාරීන් ගොඩනැගිල්ල නිරීක්ෂණය කර තිබෙන අතර ඒ අනුව එහි වැඩ අවසන් නැති බැවින් විවෘත කිරීම නැවැත්වීමට පියවර ගත් බව මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් ජාතික මැතිවරණ කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යැවූ බව ද හෙතෙම කීය.
ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු සඳහන් කළේ සත්මහල් ගොඩනැගිල්ල රජයේ සහ ආදි ශිෂ්‍ය සංගමයේ මුදලින් ගොඩනැගූ ගොඩනැගිල්ලක් වන අතර එහි වැඩ කටයුතු අවසන් වීමටත් ප්‍රථම ජනාධිපතිවරණය වෙනුවෙන් වාසි ලබා ගැනීමේ අරමුණින් අදාළ ගොඩනැගිල්ල විවෘත කිරීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ ගත් බවයි.

