ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නළ ළිඳකට වැටුණු දෙහැවිරිදි දරුවා මියගොස් ඇතැයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළා. ළිඳෙන් ගොඩගත් දරුවාගේ සිරුර තමිල්නාඩු හි මනප්පරෙයි රජයේ රෝහලට ගෙනගොස් ඇත.
තමිල්නාඩු ආදායම් පරිපාලන කොමසාරිස් ජේ. රාධක්‍රිෂ්ණන් මහතා අද (29) අලුයම මාධ්‍ය හමුවකදී පවසා සිටියේ දරුවා නිරුප්‍රදිතව ගොඩට ගැනීම සඳහා ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් අසාර්ථකවූ බවයි. දරුවා වැටී සිටි ළිඳෙන් ඊයේ රාත්‍රී දුර්ඝන්දයක් දැනෙන්නට පටන්ගත් බවත් එයින්පසු දරුවා මියගොස් ඇති බව තීරණය කළ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.
දරුවාගේ සිරුර බෙහෙවින් දිරාපත්වූ තත්ත්වයක පවතින බවත් ඡායාරූප පසුව නිකුත් කරන බවත් ඔහු පවසයි.
තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුචිරප්පල්ලි ආසන්නයේ පිහිටි මෙම පටු ළිඳේ අඩි 100ක් පමණ ගැඹුරේ සුජිත් විල්සන් නැමැති දරුවා සිරවී සිටියේ ය. 300ක පමණ මුදවාගැනීමේ කණ්ඩායමක් පැය 80කට වැඩි කාලයක් තිස්සේ දරුවා ගලවා ගැනීම සඳහා ප්‍රයත්න දැරූහ. එම ළිඳට සමාන්තරව තවත් ළිඳක් හාරා දරුවා බේරා ගැනීමට කටයුතු කරමින් සිටියද එය ද අවසානයේ අසාර්ථක විය.
පසුගිය සිකුරාදා(25) පස්වරුවේ එම ළිඳ පිහිටි ස්ථානය ආසන්නයේ තවත් දරුවන් කිහිපදෙනකු සමග ක්‍රීඩා කරමින් සිටි සුජිත් දරුවා ළිඳට වැටී තිබූ අතර ඒ මොහොතේ සිට ක්‍රියාත්මක වූ ජීවිතාරක්ෂක කණ්ඩායම් දරුවා බේරා ගැනීමට අසීරු උත්සාහයක නිරත විය.
සඳුදා (28) රාත්‍රී නවය පමණ වනවිට සමාන්තර සිදුරේ අඩි 63ක් පමණ යටට හාරා තිබිණි.
කැණීම සඳහා අධිබලැති විදුම් යන්ත්‍ර යොදාගනු ලැබිනි. කෙසේවුවද අවසානයේ දරුවා මියගොස් ඇතැයි තීරණය කිරීමත් සමග සියලු උත්සාහයන් අත්හැර දැමීමට ඉන්දීය බලධාරීන්ට සිදුවිය.

