News

7 වැනි විධායක ජනාධිපති ගෝඨාභයගේ සුවිශේෂී ජීවදත්ත වාර්තාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ හමුදාවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

2019 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඔහු දේශපාලනඥයකු නොවන පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වූ පළමු පුද්ගලයා වේ.

හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරකු වන ඔහු තිස් අවුරුදු සිවිල් යුද්ධය අවසන් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ප්‍රමුඛ දායකත්වයක් සැපයීය.

හිටපු නියෝජ්‍ය කතානායකවරයකු වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ දන්දිනා සමරසිංහ මවුපියන්ට දාව නන්දසේන ගෝඨාභය රාජපක්ෂ 1949 ජූනි 20 වැනිදා මාතර, පාලටුවේදී සහෝදර සහෝදරියන් 8 දෙනකුගෙන් යුත් පවුලක උපත ලැබීය.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා 1971 අප්‍රේල් මාසයේ දී ආධුනික කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය. 1972 දී දෙවන ලුතිනන්වරයකු ලෙස රාජකාරි ආරම්භ කළ ඔහු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස්, ගජබා යන රෙජිමේන්තුවලට අනුයුක්තව සේවය කර ඇත.

1992 දී ලුතිනන් කර්නල් නිලයට උසස් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ඔපරේෂන් ලිබරේෂන්, ස්ට්‍රයික් හාර්ඞ් හා ත්‍රිවිධ බලය’ යන හමුදා ක්‍රියාන්විතවලට සහභාගී වී ඇත.

මවුබිමට ඉටුකළ සේවය වෙනුවෙන් ඔහු රණ වික්‍රම හා රණ ශූර පදක්කම්වලින් පිදුම් ලබා තිබේ.

1992දී වසර 22 සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරු යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු ලෙස සේවය කළේය. අයෝමා රාජපක්ෂ මහත්මිය සමඟ විවාහ දිවියට ඇතුළත් වූ ඔහු එක්දරු පියෙකි. ඔහුගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාද විවාහකයෙකු වන අතර වෘත්තියෙකු ලෙස කටයුතු කරනු ලබයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා මදුරාසි(චෙන්නායි) විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය ද හිමි කරගෙන ඇත. පශ්චාද් උපාධියක් ලබාගත් පළමු විධායක ජනාධිපතිවරයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතායි.

2005 වසරේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කරනු ලැබිණ.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන් මාතෘභූමිය මුදාගැනීම සඳහා ආරම්භ කළ මානුෂීය මෙහෙයුමේදී ආරක්ෂක ලේකම්වරයා ලෙස තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හෙතෙම 2006 දෙසැම්බර් මාසයේදී එම සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතය බේරාගත්තේ අනූනවයෙනි.

යුද්ධය අවසන් වීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට අමතරව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ද පත්වූ ඔහු කොළඹ නගරය අලංකරණය කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් කළේය.

කොළඹ නරගයේ ප්‍රසිද්ධ ස්ථානවල තිබූ තාප්ප ඉවත් කර නගරාලංකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හෙතෙම බත්තරමුල්ල දියත උයන, ආකේඩ් චතුරශ්‍රය, කොළඹ කොටුව පාවෙන වෙළෙඳසල් සංකීර්ණය ආදිය ඉදිකරමින් කොළඹ ආකර්ෂණීය නගරයක් බවට පත් කළේය.

ත්‍රිවිධ හමුදා මූලස්ථානය සහ අමාත්‍යාංශ කොළඹ නගරයෙන් පිටතට ගෙනගොස් නගරයේ තදබදය අඩු කිරීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද ඔහු පියවර ගත්තේය.

මෑතකදි විවෘත කරන ලද ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි කාලයේදී සැලසුම් කළ එකකි.

ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් ගෙන යමින් මැතිවරණ ක්‍රමයත් වෙනස් කළ පුද්ගලයෙකු ලෙස ඉතිහාසගත වී තිබේ. එමෙන්ම මඩ, ප්‍රතිවාදීන් විවේචනය වැනි පටු උපක්‍රම වෙනුවට නව්‍ය සංකල්ප රැසක් සමගින් අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමටද ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් විය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වැනි විධායක ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට රිවිර.lk සුබපැතුම්!

Rivira FB Group Rivira Youtube
To Top