දේශීය පුවත්

අමාත්‍යංශ ලේකම්වරයෙක් ජනපති වීමේ වැදගත්කම ගැන හිටපු ජනමාධ්‍ය ලේකම් බෝපගේ කියයි

අමාත්‍යංශ ලේකම්වරයෙකු විධායක ජනාධිපතිවරයෙකු වීමේ වැදගත්කම සම්බන්ධයෙන් හා නව ජනාධිපතිවරයාට සුබපතමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

උපුටා ගැනීම
“දේශපාලනඥයකු වෙනුවට ප්‍රථම වරට
අමාත්‍යංශ ලේකම්වරයකු විධායක ජනපති ධුරයට පත්වීමේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පමණක් නොව මූල්‍ය පාලනය හා පරිපාලනයද අතිශයින් දුර්වලව පවත්නා මෙවන් මොහොතක දිගුකාලීන හමුදා සේවයට අමතරව අතිශය අසීරු ඉනිමක් සාර්ථකව මල්ඵල ගන්වමින් වසර 10ක කාලයක් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වීම අප රටට සුවිශේෂ අත්දැකීමක් එක් කරනු ඇත. විශේෂයෙන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම්වරයා වශයෙන් ඔහු තුළ තිබූ සෘජු තීන්දු ගැනීම, ඉලක්ක සාක්ෂාත් කරගන්නා තෙක් අත්නොහැර ඒ පසුපස හඹායෑම, පුද්ගල තරාතිරමකින් තොරව දැඩි විනයක් පවත්වා ගැනීම ඇතුළු ගුණාංග අප රටේ රාජ්‍ය නිලධාරියකුට පමණක් නොව රාජ්‍ය නයකයකුටද අත්‍යවශ්‍ය වන අතර ඒවා භාවිතයට නැඟෙන ආකාරය දැක බලාගැනීමට දෙස් විදෙස් බොහෝ දෙනා දෑස් දල්වා ගෙන සිටිති.

තවද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව මූල්‍ය පාලනය, පරිපාලනය හා නීතියේ සමානාත්මතාවය පිළිබඳවද දැඩි විනයක් පවත්වා ගැනීම ප්‍රමුඛතම අවශ්‍යතාවය බවට පත්වූ මෙවර ජනාධිපතිවරණයේදී මෙතරම් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් තමන් බලයට පත්කර වූ ජනතා තීන්දුවට ගරු කරමින් සියලු ජනවර්ගයන් යළිදු ඒකරාශී කොට ලක්වැසි සියලු දෙනාට එකසේ තම සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමට සියලු ශක්තිය ධෛර්යය අභිනව ජනාධිපතිතුමාට ලැබේවායි හෘදයාංගමව සුභ පතමි.

නිමල් බෝපගේ
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්”
උපුටා ගැනීම අවසන්.

යහපාලන රජයට සහය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීන් 58 දෙනෙකුට මාසික කුලිය රු. 700,000 (හත්ලක්ෂයක්) බැගින් ගෙවමින් සැප වාහන ලබා ගැනීමට අදාළ රජයේ තීරණයට තම අත්සන යොදා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් විශාල ජනප්‍රසාදයක් හිමිකරගත් ඍජුව කටයුතු කරන රාජ්‍ය නිලධාරියෙකු ලෙස නිමල් බෝපගේ මහතා සැළකෙනවා. අදාළ යෝජනාවට “අත්සන් කරන්න, නැතිනම් ඉල්ලා අස්වන්න” (“Sign or Resign”) යැයි කියමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිමල් බෝපගේ මහතාට බලපෑම් කර තිබූ බවත් ඔහු විසින් හෙළි කරමින් කියා සිටියේ තමන් ධූරයේ සිටින තාක් අදාළ යෝජනාවට අත්සන් නොකරන බවයි. ඒ එම යෝජනාව අතිශය දූෂිත ගනුදෙනුවක් බව පෙන්වා දෙමිණි. කෙසේ වෙතත් සිදුකළ කැබිනට් සංශෝධනයක් මගින් ජනමාධ්‍ය අමාත්‍යංශය අහෝසි කිරීමත් සමගින් බෝපගේ මහතාව ධූරයෙන් ඉවත් කරනු ලැබුවා.

Rivira FB Group Rivira Youtube
To Top