දේශපාලන

පාඨලී එජාපයට, ඉහළ පුටුවකට ආරාධනයක්?

ජාතික හෙළ උරුමයේ මහලේකම් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස ආරාධනා ලැබී තිබෙනවා. එජාප ආරංචි මාර්ග දක්වන පරිදි ඔහු නියෝජ්‍ය නායකයෙකු ලෙස පත් කිරීමේ සූදානමක් ඇතැයිද පැවසෙනවා.

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරුන් ලෙස මේ වන විට කටයුතු කරනු ලබනවා. හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා උප නායකයෙකු වශයෙන්ද කටයුතු කරනු ලබනවා.

මීට ඉහත පැවති පක්ෂ රැස්වීමකදී එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ 2030 වන විට පක්ෂය තරුණයින් අතට පත් කරන බවයි. නමුත් මේ වන විට වාර්තා වන තොරතුරු අනුව රනිල් වික්‍රමසිංහ මහතා එජාපයට නායකයෙක් සොයමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ මහතා සඳහන් කර ඇත්තේ එජාපයේ ඉහළ වගකීමක් සඳහා පාඨලී චම්පික රණවක මහතාව ඉල්ලා සිටින්නේ නම් හෙළ උරුමයෙන් ඔහුව නිදහස් කිරීමට තම පක්ෂය දැනටමත් තීරණය කර ඇති බවයි.

පාඨලී චම්පික රණවක මහතා එජාපය හා එක්වන්නේ නම් 2020 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර එක්විය යුතු එජාපයේ ඉහළ කණ්ඩායමක මතය වී තිබෙනවා.

පාඨලී රණවක මහතා එජාපයට සම්බන්ධ කර ගැනීම සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි ගමනට බලපාන ආකාරය පිළිබඳ කරුණු ඇගයීමකින් පසුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට ඒමට එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. චම්පික රණවක මහතා ජාතික සංවිධායක වැනි ධූරයකට පත් කිරීම සම්බන්ධයෙන් එම කණ්ඩායමේ කිසිම විරෝධයක් නැති බවත් වාර්තා අතර සඳහන්.

Rivira FB Group Rivira Youtube
To Top