හිටපු කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් රැසක් ධූරයට හිමි නිල නිවාස, නිල වාහන, ඇමති ආරක්ෂාව සහ රජයෙන් ලබාදෙන දුරකථන, ලැප්ටොප් පරිඝනක, ටැබ් පරිඝනක හා එවැනි රාජ්‍ය දේපළ රැසක් නැවත බාර දී නැති බව වාර්තා වේ.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇමතිවරුන් 12 දෙනෙකු පමණක් නිල නිවාස බාර දී ඇති බවයි.
මීට අමතරව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ හිටපු අමාත්‍යවරුන් නිල වාහන බාරදී නොමැති හේතුවෙන් නව අමාත්‍යවරුන්ට නිල රථ ලබාදීමේ අර්බුධයක් නිර්මාණය වී ඇති බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රථවාහන ලබාගැනීමද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බැවින් නැවත රථ බාර දී නොමැති ඇමතිවරුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුව ඇති බවයි. ඇතැම් අමාත්‍යවරුන් තමන්ට හිමි නිල රථ 3න් රථ දෙකක් පමණක් නැවත එවා ඇති බවත් ඇතැම් ඇමතිවරුන් නිල රථ 3ට අමතරව ලබාගෙන ඇති රථවාහනවත් තවමත් ලබා දී නැති බවත් වාර්තා වේ. එවැනි අවස්ථාවල වැඩිපුර රථවාහන නිකුත් කර ඇති අමාත්‍යංශවල හිටපු ලේකම්වරුන් සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඒ ඒ අමාත්‍යංශවල නිලධාරීන් පවසයි.
ඇමතිවරුන්ට අමතරව යහපාලන රජයට සහය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් කිහිප දෙනෙකුටම විශේෂ අවසරය මත නිල නිවාස හා නිල වාහන ලබා දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සහ අගමැති කාර්යාලය පවසයි. ඇතැම් මන්ත්‍රීවරියන් මෙතෙක් එම රථවාහන සහ නිල නිවාස බාර දී නොමැති බවත් වාර්තා වේ.
ඇල්විටිගල නිවාස සංකීර්ණය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන නිවාස සංකීර්ණ හා නිල නිවාස රැසක් පසුගිය රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ආයතන සභාපතිවරුන් වැනි ඉහළ නිලධාරීන්ට ලබා දී ඇති බවත් ඒවාද මෙතෙක් බාරදී නොමැති බවත් වාර්තා වේ.
මෙම ලිපියට තොරතුරු ලබාදුන් නිලධාරීන්ගෙන් බහුතරයක් යෝජනා කර සිටින්නේ එවැනි රාජ්‍ය දේපළ නැවත ලබාදුන් අයගේ ලැයිස්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම මීට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වනු ඇති බවයි.
අප කළ සොයා බැලීමකදී වාර්තා වූයේ හිටපු ඇමතිවරුන් 12 දෙනෙකු මෙලෙස සියළුම රාජ්‍ය දේපළ සහ ඇමති ආරක්ෂාව නැවත බාර දී ඇති බවයි. නිල ලේඛණයක් නොවීම හේතුවෙන් එය ප්‍රසිද්ධ කළ නොහැක.
-රිවිර.lk විශේෂ වාර්තාකරු ඩිල්ෂාන් බාලසූරිය

