,
News

අනුමැතිය නැතිව දුන් රාජ්‍ය ආයතන ප්‍රධානී පත්වීම් රැසක් ජනපති නියමයෙන් අවලංගු කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය සංස්ථා, මණ්ඩල, සභා ඇතුළු රජයේ ආයතන වෙත සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමට නිර්දේශ කිරීම සඳහා සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් නම් කර තිබියදී ඊට පාරිභාහිරව අමාත්‍යවරුන් විසින් ආයතන සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම් රැසක් කර ඇති බව දැනගත් ජනාධිපතිවරයා වහාම එම පත්වීම් අවලංගු කර අදාළ කමිටුවට එම නම් යොමු කරන ලෙස දැනුම් දී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

දුරකථනයෙන් අදාළ ඇමතිවරුන් අමතා ජනාධිපතිවරයාම මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වන අතර ඇතැම් ඇමතිවරුන් පවසා ඇත්තේ පක්ෂය තුළ ඉහළ කාර්යභාර්යක් කළ අය සහ රටම පිළිගත් චරිත කිහිපයක් ඊට පත් කර ඇති බැවින් ඒවා අවලංගු කිරීමෙන් ඔවුන්ගේ ප්‍රතිරූපවලට හානියක් විය හැකි බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් ඒ සම්බන්ධයෙන් පූර්වයෙන් ලබාදුන් උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බවයි. එසේම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කිසිවෙකුට තනතුරු ලබා නොදෙන බවත් ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ. ඇමතිවරුන්ට පත් කිරීමට අවශ්‍ය පුද්ගලයින් සිටී නම් විද්වත් කමිටුවට එම නම් යොමු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

මෙසේ පත්වීම් කර ඇති අමාත්‍යංශ අතර තොරතුරු, සන්නිවේදන හා නවොත්පාදන අමාත්‍යංශය, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය, විදේශ සබඳතා අමාත්‍යංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යංශය පවතින බව වාර්තා වේ.

පිළිතුරු දීමේ අයිතිය
මෙහි සඳහන් පුවතකට අදාළව නිවැරදි කිරීමක් හෝ පිළිතුරු දීමක් සිදුකිරීමට අවශ්‍ය නම් riviranews.lk@gmail.com යන ඊමේල් ලිපිනය හරහා සම්බන්ධ වන්න.

Rivira Ads
To Top