දේශීය පුවත්

යහපාලන ඇමතීන් මුල් වසර 2 දීම මිලියන 3215ක් සැප වාහන අරන්

පැවති යහපාලන රජයේ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රු. මිලියන 3215ක පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන ඇතැයි හෙළිදරව් වී තිබේ.

මුදල් අමාත්‍යංශයේ දත්ත වාර්තා අනුව 2016 වසරේදී රු. මිලියන 1971ක්ද 2017 වසරේදී රු. මිලියන 1244ක්ද ඇමතිවරුන් සඳහා වාහන මිලදී ගැනීමට වැය කර තිබේ.

මීට අමතරව රු. මිලියන 2500ක් වැය කරමින් රජයට සහය දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට වාහන ලබාදීම සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට එවකට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා අත්සන් නොකිරීම හේතුවෙන් එය ක්‍රියාත්මක කළ නොහැකි විය. එක් වාහනයකට මසකට කුලිය ලෙස රු. (700,000) හත් ලක්ෂයක් පමණ ගෙවීමට යෝජනා වී තිබුණද එම වාහන කාල සීමාව අවසානයේ රජයට හිමි නොවී වාහන සපයන පෞද්ගලික ආයතනයටම හිමි වන අයුරින් ගිවිසුම සකස් වී තිබිණි. එම යෝජනාවට අමාත්‍යංශ ලේකම් බෝපගේ මහතා අත්සන් නොකිරීම හේතුවෙන් එම සම්පූර්ණ මුදල වන රු. මිලියන 2500ම රජයට ඉතිරි විය.

මීට අමතරව හිටපු ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට වාහන මිලදී ගැනීම වෙනුවෙන් වැය වූ මුදල මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නැත.

නව රජයට වාහන මිලදී ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. එයින් රජයට ඉතිරි වන මුදල ආසන්න වශයෙන් රු. මිලියන 10,000ක් පමණ වනු ඇති බවට මුදල් අමාත්‍යංශය ගණන් බලා තිබේ.

-රංජිත් ආරියසිංහ(රිවිර.lk විශේෂ වාර්තාකරු)

Rivira FB Group Rivira Youtube
To Top