දේශපාලන

මහමැතිවරණයට ජනපති ගෝඨාභය ඉදිරිපත් කරන වියතුන් මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනඥයෙකුට වඩා රාජ්‍ය නිලධාරියෙකු ලෙස වියතුන් අතරින් මතුවූ චරිතයක් ලෙස දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක් වේ. ඔහු ඉදිරිපත් කළ දැක්ම ඉදිරියේදී පාර්ලිමේන්තුවටද ගෙන ඒමට වියත්මග සංවිධානය තීරණය කර ඇත. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු “රිවිර”ට ප්‍රකාශ කළේ “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවිමට අත්වැලක් සැපයීමට වියත්මගේ වියතුන් පාර්ලිමේන්තු යැවීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය ඊට හිමි වූ බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.

එහෙත් පාර්ලිමේන්තුව නියෝජනය කරන වියතුන්ට මහමැතිවරණය පැමිණෙන තෙක් රජයේ තනතුරු බාර නොගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වේ. මේ කාලයත් තම දේශපාලන කටයුතු වෙනුවෙන්ම යොදවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇතැයිද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

“වියත්මග” සංවිධානය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමේ ව්‍යාපාරයේ ප්‍රබල කාර්යභාර්යක් ඉටු කළ සංවිධානයකි. එහි නියෝජනයක් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට සමාජ මතයක්ද ඇති වී තිබේ.

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන පිරිස අතරට එක්වන පිරිසක් ගැන “රිවිර”ට වාර්තා වේ. ඒ අතර ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙනුත්, ආචාර්ය නාලක ගොඩහේවා මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙනුත්, මහාචාර්ය චන්න ජයසුමන මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයෙනුත්, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කොළඹ දිස්ත්‍රික්කයෙනුත් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මීට අමතරව වියත්මග නියෝජිතයින් දෙදෙනෙකුවත් සෑම දිස්ත්‍රික්කයක් සඳහාම ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක්ද ඉදිරිපත් වී තිබෙනවා. වියත්මග සංවිධානය පරිපාලන නිලධාරීන්, හමුදා නිලධාරීන්, වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් දැනුම මූලික කරගත් සංවිධානයකි.

Rivira FB Group Rivira Youtube
To Top