දේශීය පුවත්

රාජ්‍ය ආයතන 40කට ප්‍රධානීන් නිර්දේශ කෙරේ

රාජ්‍ය ආයතන 40 ක පමණ සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමට අදාළ නිර්දේශ ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර තිබේ. රාජ්‍ය ව්‍යවසාය, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ සය පුද්ගල කමිටුව විසින් අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

සය පුද්ගල කමිටුවේ සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේ, එක් තනතුරක් සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් තිදෙනෙකුගේ නම් යෝජනා කර යැවූ බවයි. ඒ අනුව දින කිහිපය තුළ ආයතන රැසකට නව සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමට හැකිවනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.

එකම විෂය පථයන් සඳහා පිහිටුවා ඇති විවිධ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ යෝජනාවක් ද කමිටුව විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබේ. එවැනි ආයතන බොහොමයක් වෙන වෙනම පවත්වා ගැනීම රාජ්‍ය සම්පත් අපතේ යාමක් බව කමිටුවේ මතය වී තිබෙනවා. එම ආයතන ඒකාබද්ධ කිරීමෙන් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට අමතරව ප්‍රතිපත්ති සම්පාදනය හා කටයුතු විධිමත් වීමක් සිදුවන බව ඔහු ප්‍රකාශ කළා.

ලැබුණු අයදුම්පත් හා අමාත්‍යවරුන්ගෙන් ලද නිර්දේශ මත මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බව හා ප්‍රධානීන් පත් කිරීම ඉක්මණින්ම සිදුවිය යුතු ආයතන කිහිපයකට මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top