දේශපාලන

මම තීරණ ගන්නෙ අවශ්‍යතාවය අනුව, ජනප්‍රිය වෙන්න තීරණ ගැනීම මගේ ක්‍රමය නොවේ – ජනපති ගෝඨාභය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයට සහය දෙන මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් ඊයේ (12) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී මන්ත්‍රීවරුන් රැසකගේ අදහස් වෙත සවන් දී ඇති ජනාධිපතිවරයා ඔවුන් අමතා විශේෂ කරුණු කිහිපයක් ප්‍රකාශ කර තිබේ.

එහිදී රැකියා බෙදා දීම, හිතවතුන්ට ටෙන්ඩර්/ව්‍යාපෘති ලබා දීමට ඇති වී තිබෙන අපහසුතා වැනිදෑ පිළිබඳ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් ඉදිරිපත් කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

සියල්ල අසා සිටි ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් වසර 50ක පමණ දේශපාලන අත්දැකීමක් සහිත පුද්ගලයෙකු නොවන බවයි. තමන් රටේ සියළු ජනතාවගේ ජනාධිපතිවරයා බවත් සියළු දෙනාට සමානව සැළකීම, සියළු දෙනාගේ ජීවන තත්වය නගා සිටුවීම, රටේ ආර්ථික නගා සිටුවීම, රට ක්‍රමවත් හා විධිමත් කිරීම වැනි කටයුතු පිළිබඳ මූලික අවධානයක් තමාට ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. එබැවින් පාක්ෂිකයින්ට පමණක් සැළකීම වැනි දෑ තමාගෙන් කිසිසේත් අපේක්ෂා නොකරන ලෙස ජනාධිපතිවරයා පවසා ඇතැයිද වාර්තා වේ. පුද්ගලික වරප්‍රසාද ලබාදීමේ හැකියාවක් නොතිබුණත් පොදුවේ කළ හැකි සියල්ල නියම ආකාරයෙන්ම සිදු කිරීමට තමන් කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එහෙත් මන්ත්‍රීවරුන් වශයෙන් තම ප්‍රදේශයේ ජනතාවට වඩා හොඳ ජීවන තත්වයක් ඇති කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස වැඩි අවස්ථාවක් ලැබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. තම ප්‍රදේශවල පවතින දැවෙන ප්‍රශ්න අදාළ ඇමතිවරුන් වෙත ඉදිරිපත් කර කඩිනමින් ඒවා ඉටු කර ගැනීමට හැකි බවත් ඊට අවශ්‍ය උපදෙස් ඇමතිවරුන්ට ද ලබා දී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. මීට අමතරව විමධ්‍යගත අරමුදල් යොදවා කරන ව්‍යාපෘති තුළින්ද ජනතාවට සේවය කිරීමේ අවස්ථාව ඉදිරියේදී පුලුල් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි ආරංචි මාර්ග පවසයි. ඇමතිවරුන්ගෙන් තම ප්‍රදේශවල ගැටළු ඉටු වීම අනවශ්‍ය ලෙස පැහැර හැරීමක් හෝ ප්‍රමාද වීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ තමා දැනුවත් කිරීමේ ක්‍රමවේදයක්ද සකස් කරන බවත් වැඩ කරන රටක් වෙනුවෙන් සියලු දෙනාගේ සහය බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පවසා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

තමන් ගන්නා තීරණ ඇතැම් විටෙක ජනප්‍රිය ඒවා නොවුනද තමන් ප්‍රකාශ කරන දෑ ඉටු කිරීම වෙනුවෙන් අවශ්‍ය තීරණ අවශ්‍යතාවය අනුව ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ. තම භූමිකාව සැම විටම පදනම් වූයේ අවශ්‍ය වේලාවට අවශ්‍ය තීරණ ගැනීම යන සංකල්පය මත බවත් ඒවා සාර්ථක වී තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ දැක්ම තේරුම් ගැනීමට හැකි වූ බවත් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවත් මන්ත්‍රීවරුන් පවසා තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top