News

තිරිඟු පිටි තීරු බද්ද ඉවතට, පාන් ගෙඩියක මිලත් පහළට

ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවැති රු. 36 ක ඒකාබද්ධ තීරු බද්ද ඉවත් කර තිබේ. ඒ වෙනුවට කිලෝග්‍රෑමයකට රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පමණක් හඳුන්වා දී තිබේ.

මුදල්, ආර්ථික හා සංවර්ධන ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ විෂයභාර අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මඟින් දෙසැම්බර් මස 14 වන දින සිට මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක බවයි.

පිටි කිලෝග්‍රෑමයක් සඳහා රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කිරීම හේතුවෙන් පිටි ආනයනය කර තරඟකාරී මිලට බෙදාහැරීමට ඕනෑම ව්‍යාපාරිකයකුට අවසරය දීම සඳහා මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ සංදේශයකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබිණි.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයකට රු. 36 ක් පමණ වූ ඒකාබද්ධ තීරුබදු ප්‍රමාණය ඉවත් කර ඒ වෙනුවට රු. 8 ක වෙළෙඳ භාණ්ඩ බද්ද නියම කිරීමෙන් කිලෝවකට අදාළ බද්ද රු. 28කින් අඩු වී තිබේ.

Updated:
බේකරි හිමියන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කර සිටියේ තරඟකාරී මිල ගණන් යටතේ තිරිඟු පිටි ආනයනය කළ පසු පාන් ගෙඩියක මිල රු. 50දක්වා පහත දැමිය හැකි බවයි. ඊට අමතරව සියළු බේකරි නිෂ්පාදනවල මිල රු. 5කින් පහත දැමීමටද හැකි බව එම සංගමය වැඩිදුරටත් කියා සිටී.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top