දේශීය පුවත්

19 අහෝසියි, ඡන්දය මාර්තු, කර්තෘ හමුවේදී ජනාධිපතිතුමා මාධ්‍යට පැවසූ සියල්ල මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පුවත්පත් කර්තෘවරු හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග අද (16) ජනාධිපති ලේකම් කාර්යාලෙයේදී සුහද හමුවක් පැවැත්විණි.

එහිදී මාධ්‍ය ප්‍රධානීන් නැගූ ගැටළු රැසකට ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් කරුණු බොහොමයක් ගැන පැහැදිලි කිරීමක නිරත විය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළු රටම අවුල් කළ බව කී ජනාධිපතිවරයා පැවසුවේ එය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවයි. ඉදිරි ගමනට එය අත්‍යවශ්‍ය වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවක් පවත්වමින්, “සුදු වෑන්” සිද්ධියක් පිළිබඳව අදහස් පළ කළ පුද්ගලයින් දෙදෙනාගේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ තමන් මඩ සහ බොරු දේශපාලනයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අයෙක් බවයි. එබැවින් එවැනි සම්ප්‍රදායන් තමා එක හෙළා ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. එවැනි දෑ ජනතාවද ප්‍රතික්ෂේප කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පැවසුවේ එම සිදුවීම නිසාම තමන්ට ලක්ෂ දෙකක පමණ ඡන්ද ප්‍රමාණයක් වැඩියෙන් ලැබී ඇති බව තම විශ්වාසය බවයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමේ තීරණයක් රජය පාර්ශවයෙන් ගෙන තිබේදැයි මාධ්‍ය ප්‍රධානියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා පැවසුවේ එවැනි කිසිඳු තීරණයක් ගෙන නැති බවයි. නමුත් ඒ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවත් ගිවිසුම පූර්ණ වශයෙන් සමාලෝචනය කර රටට හිතකරද අහිතකරද සොය බලා වාර්තා කරන ලෙස තමන් දන්වා තිබෙන බවත් ඒ අනුව ඉදිරි කටයුතු තීරණය කරන බව සඳහන් කළේය. කිසිසේත්ම හානිකර කිසිඳු ගිවිසුමකට තම පාලන කාලය යටතේ අත්සන් නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගත් බව කියන සිද්ධිය පිළිබඳ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ එය සම්පූර්ණ අසත්‍යයක් බවත් එවැන්නක් සිදුනොවූ බව මෙතෙක් සිදුකළ සියලු පරීක්ෂණ වලින් පැහැදිලි වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අද ස්විට්සර්ලන්ත තානාපතිවරයාටද කරුණු පැහැදිලි කළ බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

මැතිවරණ සිතියම අකුලා තිබෙන තත්වය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයක පිළිතුරු ලෙස ජනාධිපතිවරයා පැවසුවේ පළාත් සභා ඡන්දයට පෙර මහ මැතිවරණය පවත්වන බවයි. තම ප්‍රතිපත්ති යථාර්තයක් කර ගැනීමට ශක්තිමත් රජයක් අවශ්‍ය බවත් ඒ සඳහා ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව අනිවාර්යෙන් විසුරුවා හැර මහමැතිවරණය කැඳවන බවත් ජනාධිපතිවරයා පැවසීය. දිගින් දිගටම කල් දමනු ලැබූ මැතිවරණ සියල්ල හැකි ඉක්මණින් පැවැත්වීම තමාගෙත් අගමැතිවරයාගෙත් අදහස බව කී ජනාධිපතිවරයා පළාත් සභා ඡන්දය පැවැත්වීමේ තීරණය ගත යුත්තේ පාර්ලිමේන්තුව විසින් බව පෙන්වා දුන්නේය. පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පවත්වනවාද නව ක්‍රමයට පවත්වනවාද යන්න පාර්ලිමේන්තුවෙන් තීරණය කළ යුත්තක් බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන ලකුණකින්දැයි මාධ්‍ය ප්‍රධානියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා පැවසුවේ ඒ පිළිබඳ ඇති එකඟතා පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණය ගන්නා බවයි. එය ගැටළුවක් නොවනු ඇති බව පැවසු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයේදී සහය දුන් සියළුදෙනාගේ සහය නොඅඩුව ලැබෙන බවයි. ඉදිරි මැතිවරණ සියල්ල අගමැතිවරයා විසින් මෙහෙයවන බවත් බැසිල් රාජපක්ෂ මහතා එහි යාන්ත්‍රණය සකස් කරනු ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ලෙස තමන් දේශපාලනයට කිරීමට වඩා රාජ්‍ය පාලනයට සම්බන්ධව කටයුතු කරන බවයි. එහෙත් මැතිවරණ සඳහා පූර්ණ සහ ලබාදෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා ලෙස වඩාත් වෘත්තීමය සේවයක් කිරීම තම අරමුණ බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එබැවින් පක්ෂ දේශපාලනයේ කරුණු සම්බන්ධයෙන් තමන් වැඩි කාලයක් වෙන් නොකරන බවද ජනාධිපතිවරයා පැවසීය.

Rivira FB Group Rivira Youtube
To Top