,
Politics

එජාපයේ නායකත්ව අර්බුධය උග්‍ර අතට, සජිත් යළි පිටියට

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම් ඇති වෙමින් තිබුණද එජාපය බලයට පැමිණීමත් නායකත්වය සම්බන්ධයෙන් වන කතිකාව යම් පසුබෑමකට ලක්ව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් සියලු කටයුතු සිදුවිය. නමුත් ජනාධිපතිවරණයට පෙර නැවතත් එම ගැටුම් උග්‍ර වෙමින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු බවට පක්ෂයේ පිරිසක් කැරැල්ලක් ඇති කළහ. එහිදී නායකත්වය අවශ්‍ය නොවන බවත් ජනාධිපතිධූර අපේ්ක්ෂකත්වය පමණක් ලැබෙන්නේ නම් ප්‍රමාණවත් බවත් කැරලිකාර කණ්ඩායම පසුව ප්‍රකාශ කර තිබුණි. ඒ සමග නායකත්වය අර්බුධ යළිත් වතාවක් යටගිය සිදුවීමක් විය.

නමුත් ජනාධිපතිවරණයෙන් ලද දරුණු පරාජයෙන් පසුව යළිත් නායකත්වය ඉල්ලා ගැටුමක් ඇති වී තිබෙනවා. මුල් වටයේදී එය විපක්ෂ නායකධූරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමෙන් යටපත් කරගත් නමුත් පාර්ලිමේන්තුව වාරාවසාන කර තිබීම හේතුවෙන් එම ධූරයද තවමත් නිල වශයෙන් හිමි වී නැත. මෙවැනි තත්වයක් තුළ යළිත් එජාපයේ කැරලිකාර කණ්ඩායම නායකත්වය ඉල්ලන සටන අරඹා තිබේ.

එහි පළමු පියවර ලෙස ඊයේ (17) කොලොන්නාවේ පැවති “සජිත් ගමින් ගමට” රැස්වීම් මාලාවේදී තමන්ට නායකත්වය අවශ්‍ය බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පක්ෂ නායකත්වය නොමැතිව අගමැති අපේක්ෂකත්වය බාර නොගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් සඳහන් කළේ “එළැඹෙන මහමැතිවරණයේදී ලැබීමට නියමිත දරුණු පරාජයෙන් පසුව පක්ෂයේ රැඳී සිටීමට නම් සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණයට පෙර නායකත්වය ලබාගෙන” සිටිය යුතු බවයි. එසේ නොමැතිව “පරාජය වුවහොත් පරාජය වූ අයෙකුට පක්ෂ නායකත්වය ලබා දිය නොහැකි බවට” වන මතය පක්ෂය තුළින් මතුවන බැවින් මැතිවරණයට පෙර පක්ෂ නායකත්වය ලබාගැනීම එම කණ්ඩායමේ අරමුණ වී ඇති බව පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් එජාප මහලේකම්වරයා මීට පෙර සඳහන් කර සිටියේ 2023 දක්වා රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් කටයුතු කරනු ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය අර්බුධය වඩාත් ප්‍රබලව සමාජගත කරන මාධ්‍ය ආයතනයක් විසින් මේ අයුරින් සිදුකරන මාධ්‍ය ව්‍යාපාරය හේතුවෙන් පක්ෂය 2020 මහමැතිවරණයේදී ප්‍රබල පරාජයක් ලබනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය. ඔහු පෙන්වා දුන්නේ ලැබූ පරාජයත් සමග පක්ෂය යළි නඟා සිටුවීමට උපදෙස් ගත යුත්තේ මහසංඝරත්නයෙන්ද අදාළ මාධ්‍ය ආයතන ප්‍රධානියාගෙන්ද යන්න තීරණය කිරීමට පක්ෂයට සිදුවී ඇති බවයි. පක්ෂයේ දීර්ග කාලීන දේශපාලනඥයින් ලෙස මාධ්‍ය ආයතනවලට අවශ්‍ය ආකාරයට දේශාපාලනය කිරීමට තමන් ඇතුළු පක්ෂයේ බහුතරයක් ලෑස්ති නොමැති බව පෙන්වා දුන්නේය. වැඩිදුරටත් ඔහු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාද ජනතා අප්‍රසාදයට ලක්වූයේ එක මාධ්‍ය ආයතනයකට ජනාධිපති ලේකම් කාර්යාලය බාර දී තිබූ නිසා බවයි. පක්ෂයක නායකත්වය තීරණය කළ යුත්තේ පාක්ෂිකයින් මිස මාධ්‍ය ආයතන නොවන බවද ඔහු ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණ සමයේ එජාපය චෝදනා කළ හා වර්ජනය කළ ඇතැම් මාධ්‍ය ආයතන එවැනි තත්වයක නැති බවත් එම මාධ්‍ය ජනතාවාදීව කටයුතු කළ බවත් පක්ෂ ගැටුම් හා තීරණවලට මැදිහත් නොවූ බවත් ඔහු සිහිපත් කළේය.

එජාප නායකත්ව අර්බුධය සම්බන්ධයෙන් එජාපයට සහය දක්වන සුළු ජාතික පක්ෂ කිහිපයක් විශේෂ සාකච්ඡවක් සඳහා සූදානමින් සිටින බවද වාර්තා වේ. ජනවාරි මස මුල් සතියේ පැවැත්වීමට අදාළ සාකච්ඡාවේදී සුළු ජාතික පක්ෂ එක සන්ධානයක් ලෙස වෙනම ඉල්ලීමේ හැකියාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. කෙසේ වෙතත් මුස්ලිම් පක්ෂයක් ඊට එතරම් කැමැත්තක් නොදක්වන බවද වාර්තා වේ.

-දේශපාලන වාර්තාකරු

Rivira Ads
To Top