දේශපාලන

ගෝඨාභය ජනපති වී මාසයයි – රටටම දැනුනු වෙනස්කම් රැසක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී අදට (18) මාසයක කාලයක් සම්පූර්ණ වී තිබෙනවා. එම කාලය තුළ ජනාධිපතිවරයා ගත් බොහෝ තීරණ ජනතාව අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් ව තිබෙනවා. එලෙස ගත් තීරණ බොහොමයක් ඡන්ද පොරොන්දු ලෙස ලබා දුන්නා නම් ඉහළ වටිනාකමක් පවා ලැබෙන්නට තිබූ ඒවා බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒවා ඡන්ද පොරොන්දු ලෙස ලබා නොදී ප්‍රායෝගිකව සිදු කර තිබීමෙන් ජනතාව අතර දැඩි ගෞරවයකට පාත්‍ර වීමට හේතු වී තිබෙනවා.

එලෙස ගත් තීරණ අතර ජනාධිපති මන්දිරය තුළ පදිංචි නොවීම හා රජයේ නිල නිවසක් ලබානොගෙන සිය පුද්ගලික නිවසේම සිටීමටත් ගත් තීරණය ප්‍රමුඛතම තීරණයයි. ජනාධිපති ආරක්ෂක අංශයට අයත් පරිවාර රථ සංඛ්‍යාව 23ක සිට 3කට සීමා කිරීම, ජනාධිපති කාර්ය මණ්ඩලය 2500 සිට 250කට සීමා කිරීම වැනි වියදම් අවම කිරීමේ තීරණද ඇතුළත්. මේ තුළින් රජයට ඉතිරිවන මුදල මෙතෙක් නිල වශයෙන් ඉදිරිපත් කර නැති වුවද සංඛ්‍යාත්මක එම ප්‍රමාණය සැළකිය යුතු මුදලක් බව පෙනෙන්නට තිබෙනවා.

රාජ්‍ය ආයතනවල ජනාධිපති හා අගමැති රුව වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කිරිම, ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සඳහා අත්‍යවශ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත සීමිත ධූත මණ්ඩලයක් පමණක් රැගෙන යාම, ජනාධිපති කාර්යාලය සතු වාහන සංචිත අමාත්‍යංශ සඳහා මුදා හැරීමෙන් අනතුරුව ඉතිරිවන වාහන වෙන්දේසි කිරීමට නියෝග කිරීම වැනි වියදම් පාලනය කෙරෙන තීරණද ජනාධිපතිවරයා විසින් ගෙන තිබේ. එම කිසිඳු තීරණයක් ජනාධිපතිවරණ පොරොන්දු ලෙස ලබා නොදුන් තීරණ වේ.

වැට් බද්ද ඇතුළු බදු රැසක් ඉවත් කිරීම හා පහළ දැමීම, ඇතැම් ව්‍යාපාර සතු ඒකාධිකාරිය බිඳ දැමීම, විශාල පඩි ගෙවන රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ වැටුප් අඩු කිරීම හා නව වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට කමිටුවක් පත් කිරිමද ඇතුළත්.

ප්ලාස්ටික භාවිතයෙන් තොර කලාපයක් බවට ජනාධිපති කාර්යාලය පත් කිරීමට නව තීරණයක්ද ගෙන ඇත. ඊට අමතරව සියළු නගර අලංකාරවත් ලෙස හා පිරිසිඳුව පවත්වා ගැනීම නියෝග කිරීම, පරිසර ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමට උපදෙස් දීමද ජනාධිපතිවරයා විසින් සිදු කර ඇත.

රාජ්‍ය ආයතන සඳහා නව ප්‍රධානීන් පත් කිරීමේදී ඥාතීන් හා හිතවතුන් වෙනුවට ප්‍රාමාණික දැනුමැති හා වෘත්තිකයින් ඒවාට පත් කිරීමට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කිරීම නව රජය ගත් තීරණවලින් ප්‍රධානතම තීන්දුවක් ලෙස සැළකේ.

ජනතා පරමාධිපත්‍ය යළි තහවුරු කිරීමට හකුලා ඇති මැතිවරණ නැවත පැවැත්වීමටද නව රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඉඩ ලද පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමටත් ඉන් පත්වන පාර්ලිමේන්තුව විසින් තීරණය කරන පරිදි පළාත් සභා ඡන්දය පැවැත්වීමටත් තීරණය කර තිබෙනවා.

රජයේ පහළ තනතුරු සඳහා අධ්‍යාපන සුදුසුකම් රහිත තරුණ තරුණියන් බඳවා ගැනීම ද නව රජයේ ප්‍රධාන තීරණයක් වී තිබෙනවා. එයින් ලැබෙන රැකියා සංඛ්‍යාව 100000ක් පමණ වේ.

රජයට අයත් අමාත්‍යංශ හා ආයතන සඳහා නව වාහන මිලදී ගැනීම අත්හිටුවිමද සුවිශේෂී තීරණයකි.

Rivira FB Group Rivira Youtube
To Top