,
News

රජයේ ඉහළ නිලයන් දැරූ මහානාම-පියදාස මිලියන 20 අල්ලස් නඩුවේ සියලු තොරතුරු මෙන්න

රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ආචාර්ය අයි.එච්. කුසුම්දාස මහනාම සහ ජනාධිපතිවරයා ඇමතිවරයා වූ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ පැවති රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත සිරදඬුවම් හා දඩ නියම කළේය.

ඒ අනුව විත්තිකාර මහනාම මහතාට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 65,000 ක දඩයක් ද නියම කර තිබේ.

මෙහිදී ප්‍රධාන විත්කිකරු වූ මහනාම විසින් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2 ක මුදල දණ්ඩනයක් වශයෙන් රජයට ගෙවිය යුතු බවටද නියෝගයේ සඳහන් වුණි.

නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර තිබු පියදාස දිසානායක මහතාට ද බරපතල වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 55,000ක දඩයක් ද නියම කරනු ලැබුවේය.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙස ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් වැඩිදුරටත් නියෝග කරන ලදී .පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ගේ ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආයෝජන ව්‍යාපෘතියක් සම්පූර්ණයෙන්ම අවහිර කෙරුණු බවට චෝදනා කර සිටියේය.

“ස්වාමීනි, මෙම නඩුවට පාදක වන රුපියල් කෝටි දෙකක අල්ලස් මුදල මෙරට ඉතිහාසයේ උසස් රාජ්‍ය නිලධාරීයෙකු විසින් ලබාගත් ඉහළම අල්ලස් මුදල වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. එම ආයෝජන ව්‍යාපෘතිය තුළින් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා සීනි මෙට්‍රික්ටොන් 72,000 නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබුණා. එහි අතුරු ඵලයක් ලෙස එතනෝල් ලීටර් මිලියන නවයක් ද නිෂ්පාදනය කිරීමට සැලසුම් කළා. ඊට අමතරව එම ව්‍යාපෘතිය යටතේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් දහ අටක් එක් කෙරෙන නව විදුලිය නිෂ්පාදනය ව්‍යාපෘතියක්ද ආරම්භ කිරීමට නියමිතව තිබුණා. එමෙන්ම ඍජු රැකියා අවස්ථා 1200 ක් සහ වක්‍ර රැකියා අවස්ථා 15000 ක් පමණ ව්‍යාපෘතිය යටතේ උත්පාදනය වීමට නියමිතව තිබුණා. එහෙත් විත්තිකරුවන් දෙදෙනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් මිලියන 100 ක අල්ලසක් ඉල්ලා තිබෙනවා. අවසානයේ දී විත්තිකරුවන් විසින් ඉල්ලා සිටි රුපියල් මිලියන 100 ක අල්ලස් මුදලෙන් අත්තිකාරමක් වශයෙන් රුපියල් මිලියන 20 ක මුදලක් ලබාදීමට පැමිණිලිකරු තීරණය කළා. ඒ අනුව පැමිණිලිකරු විසින් 2018 වසරේ මැයි මස 3 වනදා අදාළ මුදල ටාජ් සමුද්‍රා හෝටලයේ රථ ගාලේ දී පළමුවන විත්තිකාර කුසුමදාස මහානාමට ලබා දුන් අවස්ථාවේ දී ඔහු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. දෙවන විත්තිකාර පියදාස දිසානායක ඔහුට ආධාර අනුබල ලබාදීමක් සිදු කළා” යනුවෙන් සඳහන් කළ රජයේ නීතිඥවරයා මෙය බරපතළ සිද්ධියක් බව පෙන්වා දුන්නේ ය.

විත්තිකරුවන් අධිකරණය මගින් වරදකරු කර තිබෙන හෙයින් ඔවුන්ට අල්ලස් පනත යටතේ ලබාදිය හැකි උපරිම දඬුවම් ලබා දෙන ලෙස ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී කරුණු දැක්වූ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් කියා සිටියේ “විත්තිකාර කුසුමදාස මහානාම මෙම අල්ලස් මුදල ලබා ගන්නේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා යන නිලයේ කටයුතු කරමින් සිටියදී. ඒ වගේම දෙවන විත්තිකාර පියදාස දිසානායකත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ලේකම්වරයකු වශයෙන් කටයුතු කර තිබෙනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අල්ලස් පනත යටතේ එම නඩුවේ පළමුවන විත්තිකරු වන කුසුමදාස මහානාමට වසර 35 ක සිර දඬුවමක් සහ විත්තිකාර පියදාස දිසානායකට බරපතළ වැඩ සහිතව වසර 28ක සිර දඬුවමක් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ඉල්ලා සිටියේය.

එහිදී විත්තිකාර කුසුමදාස මහානාම මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කරුණු දක්වමින් කියා සිටියේ රජයේ නීතිඥවරයා සිදු කළ ඉල්ලීම සම්බන්ධයෙන් තමා දැඩි විරෝධය පළ කර සිටින බවයි. “ස්වාමීනි මා නීති වෘත්තියේ වසර 35ක් පමණ යෙදී සිටිනවා. මගේ වෘත්තීය ඉතිහාසයේ යම් විත්තිකරුවකුට දඬුවම් කිරීමට ප්‍රථම රජයේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන දීර්ඝතම දේශනයට මා සවන් දුන්නේ අදයි. මෙම නඩුවේ රජයේ නීතිඥවරයා විසින් විත්තිකරුවන්ට නියම කළ යුතු සිරදඬුවම් පිළිබඳවත් අධිකරණය හමුවේ කරුණු කියා සිටියා. එය මා හෙළා දකිනවා. රජයේ නීතිඥවරයාට දඬුවම් නියම කළ යුතු ආකාරය පිළිබඳව කීමට හැකියාවක් නැහැ. එය තීරණය කළ යුත්තේ අධිකරණයයි. අධිකරණය විසින් නියම කළ යුතු දඬුවම රජයේ නීතිඥවරයා විසින් ප්‍රකාශ කරනවා නම් අධිකරණයකින් වැඩක් නැහැ. මේක විවිධ බලපෑම් හේතුවෙන් අල්ලස් කොමිසම විසින් ගොතන ලද නඩුවක්. මාගේ සේවාදායකයා හෘද රෝගයකින් පෙළෙන හැටතුන් හැවිරිදි පුද්ගලයෙක්. ඒ නිසා ඔහු මේ වන විට අධිකරණය මගින් වරදකරු කර ඇති නිසා යුක්ති සහගත දඬුවමක් ලබාදෙන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයෙන් අයැද සිටියේ ය.

දෙවන විත්තිකරු වන පියදාස දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කියා සිටියේ හැට නව වන වියේ පසුවන තම සේවාදායකයා හෘද රෝගයකින් පෙළෙන පුද්ගලයකු බැවින් අඩු දඬුවමක් නියම කරන මෙන් ඉල්ලා සිටියේ ය.

අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති සම්පත් අබේකෝන්, නඩුවේ දී පුද්ගලයන් 32 කගේ සාක්ෂි සටහන් කරගත් අතර සාක්ෂි වශයෙන් ලේඛන 116 ක් නඩු විභාගයේ දී සාක්ෂි වශයෙන් ඉදිරිපත් කෙරුණු බව කියා සිටියේය. ඉදිරිපත් වූ සාක්ෂි තුළින් විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව ද විනිසුරුවරයා සඳහන් කළේ ය.

මෙහිදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් නව තාක්ෂණය යොදාගෙන ආරම්භ අවස්ථාවේ සිට අත්අඩංගුවට ගන්නා අවස්ථාව තෙක්ම වීඩියෝගත කර තිබීමත් එහි කටහඩ වෝහාරික පරීක්ෂණයක් මගින් තහවුරු කර තිබීමත් විශේෂිත කරුණක් ලෙස විනිසුරුවරයා ප්‍රකාශ කළේය. නඩුවේ දී කටහඬ ද ප්‍රධාන සාක්ෂියක් වශයෙන් යොදා ගැනුණු බව පෙන්වා දුන් සභාපති විනිසුරු සම්පත් අබේකෝන් එවැනි සාක්ෂි පිළිගත හැකි බවට මෙම තීන්දුව තුළින් අධිකරණය අවධාරණය කර ඇති බවද සඳහන් කර සිටියේ ය. ඒ අනුව විත්තිකරුවන් වරදකරුවන් කරන බවත් ඔවුන්ට ඉහත දඬුවම් ප්‍රකාශ කරන බවත් විනිසුරුවරුන් සිය තීන්දුවෙන් සඳහන් කර සිටියහ.

එම විත්තිකරුවන් රජයේ උසස් තනතුරු දරමින් දශක ගණනාවක් විශිෂ්ට සේවාවක් කළ පෙර වැරදි නොමැති පුද්ගලයන් වන බැවින් ලිහිල් දඬුවම් ලබා දෙන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහෙත් විත්තිකරුවන් සිදුකර ඇති වැරදි නිසා ජාත්‍යන්තරය තුළ අප රටට ඇතිවූ අපකීර්තිය, විදේශ ආයෝජන ව්‍යාපෘති අහිමිවීම් කෙරෙහි සලකා බැලීමට තම අධිකරණයට සිදුවන බව ද තීන්දුව ප‍්‍රකාශයට පත්කළ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා පෙන්වා දුන්නේය.

මෙම පුවත නවතම තොරතුරු සමඟ යාවත්කාලීන කරනු ලබන බව කරුණාවෙන් සළකන්න. එයින් මෙම පුවතට අදාළ සියළු තොරතුරු එකම දිගුවක් ඔස්සේ කියවීමට අවස්ථාව හිමි වේ.

Rivira Ads
To Top