,
Politics

ආණ්ඩුව මැතිවරණයට පෙර 2/3 ලබාගැනීමේ උත්සාහයක

2020 ජනවාරි මාසය වන විට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයක් ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ඉහළ පෙළේ සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බවට වාර්තා වේ.

19 වැනි සංශෝධනය හේතුවෙන් බොහෝ අංශයන් අකර්මන්‍ය වී තිබීමත් අත්‍යවශ්‍ය තීරණ ගැනීමට බාධාවක් වී තිබීමත් මීට හේතු වී තිබේ. නමුත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර නැති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. ඔහුගේ අපේක්ෂාව වී ඇත්තේ මැතිවරණයෙන්ම 2/3 ලබා ගැනීමයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ මේ සම්බන්ධයෙන් දැනටමත් විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටින බවයි. එළැඹෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ජය ගැනීමට හැකියාවක් නොලැබීම යන සාධකය හේතුවෙන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මෙම යෝජනාවට එකඟත්වය පළ කර ඇති බවද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටී. නමුත් ඔවුන්ට පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේද අනුමැතිය ලබාගත යුතු බවට පක්ෂ නායකත්වය දැනුම් දුන් බැවින් මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බවද ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

එක්සත් ජාතික පක්ෂයේ චෝදනාවට ලක් නොවූ මන්ත්‍රීවරුන් හා හිටපු රාජ්‍ය/නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කළ බව අදාළ ආරංචි මාර්ග කියා සිටී. චෝදනා ඇති කිසිවෙකුගේ සහය ලබා නොගන්නා බවටද ගෙන ඇති තීරණයේ වෙනසක් නොවන බවද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

කෙසේ වෙතත් 2/3 ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ සහය අවශ්‍ය බවත් චෝදනා නොමැති අය 54 දෙනෙකු සොයා ගැනීම අපහසු වී ඇති බවත් ආරංචි මාර්ග කියා සිටී. මේ වන විට 25 දෙනෙකුගේ පමණ සහය ලැබීම තහවුරු කර ඇති බවද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටී. එලෙස සහය ගන්නා කිසිවෙකුට කිසිඳු වරප්‍රසාදයක් හිමි නොවන බවත් සහය ලබා ගන්නේ නම් ලබා ගන්නේ ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදීම යන කොන්දේසිය මත පමණක් බවත් අනාවරණය කර සිටී.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් මෙම යෝජනාවට විරෝධය පළ කර ඇති බවද වාර්තා වේ.

– රෝහණ කුමාර රත්නායක(රිවිර.lk දේශපාලන වාර්තාකරු)

Rivira Ads
To Top