අප්‍රෙල් 21 පාස්කු ඉරිදා එල්ල කෙරුණු ත්‍රස්ථ ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාලව හිටපු අමාත්‍යවරුන්වන රිෂාඩ් බදුර්දීන් හා රාවුෆ් හකීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම්වන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාලව සිදුකෙරෙන නඩු විභාගය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඉදිරියේ අද යලිත් කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
පාස්කු ඉරිදා ත්‍රස්ථ ප්‍රහාර වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර අද දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.
එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම පරීක්ෂණයට අදාලව පසුගිය නඩු දිනයේ දැනුම් දුන් පරිදි හිටපු ජනාධිපතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසිය සූදානම් වී සිටි බවයි.
මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා,හිටපු අග්‍රාමාත්‍යවරයා සහ වත්මන් කතානායකවරයාට දැනුම් දී තිබුණත් ඔවුන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමට අදාල දින මෙතෙක් ලබා දී නොමැති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය. විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම බෙහෙවින් වැදගත් වන හෙයින් යම් අයකු ප්‍රකාශ ලබා දීම හිතා මතා මඟ හරින්නේ නම් ඒ සඳහා ඉදිරියේදී අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම පරීක්ෂණයට අදාලව හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම්වන බවයි.
නත්තල් සමය අවසන් වීමෙන් පසුව කාදිනල් හිමිපාණන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද ඔහු ද දන්වා සිටියේය.
ඊට අමතරව මෙම විමර්ශනයට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරු තුන් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියම කළේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ථ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් 2020 ජනවාරි 06 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
මෙම පුවත නවතම තොරතුරු සමඟ යාවත්කාලීන කරනු ලබන බව කරුණාවෙන් සළකන්න. එයින් මෙම පුවතට අදාළ සියළු තොරතුරු එකම දිගුවක් ඔස්සේ කියවීමට අවස්ථාව හිමි වේ.

