පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේ දී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.
දෛනික ජන ජිවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතු බවද එතුමා කියා සිටී.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහතික කිරීමට නම් අනවශ්‍ය අණ පනත් සහ රෙගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතු බව පැවසූ ජනාධිපතිවරයා සියලු රාජ්‍ය සේවාවන් සරල සහ ජනතාව අපහසුතාවයට පත් නොවන ක්‍රමවේදයකින් ක්‍රියාත්මක විය යුතු බව ද කියා සිටියේය.
මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ දෙසැම්බර් 31 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
රාජ්‍ය සේවය පිළිබඳ ජනතා විශ්වාසය නැවත තහවුරු කිරීම ලක්ෂ 15 ක් වන සමස්ත රාජ්‍ය සේවයකයන්ගේ ප්‍රමුඛ වගකීමක් බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ “විවෘත සංවාද, සාකච්ඡා සහ නොසඟවා ගැටලු ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා හැකියාවක් සහ වෘත්තීය නිපුණතාවක් ඇති පිරිස් බඳවා ගැනීමට විද්වත් කමිටුවක් පත් කළේ ද රාජ්‍ය සේවය රටේ කොදුනාරටිය නිසා” යැයි ද ජනාධිපතිවරයා පැවසීය.
“රාජ්‍ය සේවයේ සියලු අක්‍රමිකතා බැහැර කළ යුතුයි. දෛනික ජන ජිවිතයට වැදගත්වන රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීමට සහ නීතියේ රැහැනට හසු කර ගැනීමට බුද්ධි අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දුන්නා” යැයිද එතුමා කීය.
රාජ්‍ය සේවකයෙකු දූෂණ හා වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරා තිරම නොබලා දඬුවම් ලබා දෙන බව පැවසූ ජනාධිපතිතුමා යළි කිසි දිනක ඔහුට රාජ්‍ය සේවයේ අවස්ථාවක් නොදීමට තමා තීරණය කර ඇති බව ද අවධාරණය කළේය.
විදේශීය ආයෝජකයන් තුළ මෙන්ම සමස්ත ලෝකයේම රට පිළිබඳ පැහැදීමක් ඇති වන්නේ රාජ්‍ය සේවයේ ක්‍රියාකාරිත්වය මත බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඇතුළු පහසුකම් වැඩි කළ හැක්කේ ද රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමෙන් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමෙන් බවද ජනාධිපතිවරයා පැවසීය.
මහජන සේවා කාර්යක්ෂමව ඉටු කිරීමේ දී දත්ත ජාල ගත කිරීම, නව තාක්ෂණික ක්‍රමෝපාය අනුගමනය කිරීම මෙන්ම සියලු ආයතන මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා විසින් මෙහිදී පැහැදිළි කෙරිණි.
රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ දී කළ යුතු වෛද්‍ය පරීක්ෂණය ද ජනාධිපතිතුමාගේ අවධානයට යොමු වී ඇති අතර එම ක්‍රමවේදයේ සංකීර්ණභාවය පැහැදිළි කළ ජනාධිපතිතුමා සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බව පෙන්වා දුන්නේය. එම පරීක්ෂාව ද රෝහල් මට්ටමින් ලබාදීම පිළිබඳව සොයා බැලිමට අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බවද ජනාධිපතිවරයා පැවසීය. පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන්නැයිද ජනාධිපතිතුමා දැනුම් දී තිබේ.
මහින්ද අමරවීර, දිලුම් අමුණුගම යන අමාත්‍යවරුන් ද, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරු සහ ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් ආයතන කිහිපයක නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

