එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර සිටියේ ඉරාකයේ එක්සත් ජනපද හමුදා වාසය කරන ගුවන් කඳවුරු දෙකකටවත් බැලිස්ටික් මිසයිල දුසිමකට වඩා පහර දී තිබෙන බවයි. පෙන්ටගනය පවසන්නේ ඉර්බිල් සහ අල් අසාද් හි අවම වශයෙන් ගුවන් කඳවුරු දෙකකටවත් පහර දුන් බවයි.
සොලෙයිමානිගේ ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය පවසයි.
යුධමය තත්වයට පාදක වූ සිදුවීම
ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපලකට ජනවාරි 3 දින ඇමරිකාව එල්ල කළ ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඉරාන කොඩ්ස් හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් කසෙම් සොලෙයිමානි (Qassem Soleimani) ඝාතනය කෙරිණි.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ ස්ථාවරය
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ එක්සත් ජනපදය ඉරානයේ ඉහළම හමුදා නායක කසෙම් සොලෙයිමනීව ඝාතනය කළේ “යුද්ධයක් නැවැත්වීමට මිස, යුද්ධයක් ආරම්භ කිරීමට නොවේ” යනුවෙන්ය.
ජනවාරි 3 වන සිකුරාදා ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන්තොටුපට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පසුව සොලෙයිමානිගේ “භීෂණ සමය” අවසන් වූ බව ට්‍රම්ප් පැවසීය.
මෙම ඝාතනය ඉරානය සහ එක්සත් ජනපදය අතර දැඩි උණුසුම් තත්වයක් ඇති කර තිබේ. පූර්වාරක්ෂාවක් ලෙස අතිරේක හමුදා 3,000 ක් මැද පෙරදිගට යවන බව එක්සත් ජනපද හමුදා නිලධාරීහු පැවසූහ.
ඉරානයේ මතය
රටේ කොඩ්ස් බලකායේ නායකයා ලෙස ඉරානයේ මැදපෙරදිග මෙහෙයුම් සඳහා සොලෙයිමානි පෙරමුණ ගත්තේය. ඔහුගේ මරණය සම්බන්ධයෙන් “ප්‍රබල පළිගැනීමක්” කිරීමට ඉරාන නායක අයතුල්ලා අල් කමිනී පොරොන්දු වී තිබේ.
සොලෙයිමනීගේ මරණයෙන් පසු ප්‍රකාශයක් කරමින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි මෙසේ පැවසීය: “ඔහු දෙවියන් වහන්සේ වෙතට යාම ඔහුගේ මාවත හෝ ඔහුගේ මෙහෙවර අවසන් නොකරයි. නමුත් ඔහුගේ රුධිරය සහ අනෙක් ප්‍රාණ පරිත්‍යාගිකයින්ගේ රුධිරය ඇති අපරාධකරුවන්ට ‘බලවත් පළිගැනීමක්’ අපේක්ෂා කරයි”.

ඉරාකයේ මතය
මේ අතර, ඉරාක රාජ්‍ය රූපවාහිනිය පැවසුවේ සොලෙයිමනී ඝාතනයෙන් පැය 24 කට පසු රට තුළ තවත් ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. ඉරාක හමුදා ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට කියා ඇත්තේ ප්‍රාදේශීය වේලාවෙන් සෙනසුරාදා (ජනවාරි 4) අලුයම ඉරාක මිලීෂියා භට පිරිසකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් තවත් හය දෙනෙකු මිය ගොස් ඇති බවයි.
ඉරාක අග්‍රාමාත්‍ය ඇඩෙල් අබ්දුල් මහීඩි මෙම මිසයිල ප්‍රහාරය “ඉරාකයේ ස්වෛරීභාවය නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කිරීමක් සහ ජාතියේ ගෞරවයට එරෙහි නිර්ලජ්ජිත ප්‍රහාරයක්” ලෙස නම් කළේය.
ඉරාකයේ පාර්ලිමේන්තුව ජනවාරි 5 වන ඉරිදා හදිසි රැස්වීමක් පවත්වන බව නිවේදනය කළේය. මේ අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට “වහාම” ඉවත්ව යන ලෙස අනතුරු ඇඟවීය.
ඉරානයේ සහ එක්සත් ජනපදයේ මිත්‍ර රටක් ලෙස ඉරාකය දුෂ්කර තැනක සිටී. ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ථ (අයිඑස්) කණ්ඩායමට එරෙහි පුළුල් අරගලයට සහාය වීම සඳහා එක්සත් ජනපද හමුදා දහස් ගණනක් රට තුළ රැඳී සිටිති. එහෙත් ඉරාක රජය අවධාරනය කරන්නේ එක්සත් ජනපදය මෙම ගිවිසුමේ නියමයන්ට වඩා ක්‍රියා කර ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ලිපියක් යවමින් ඉරාන තානාපති මජිඩ් තක්ත් රවන්චි ( Majid Takht Ravanchi) කියා සිටියේ ජාත්‍යන්තර නීතිය යටතේ ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය ටෙහෙරානය සතු බවයි.
සිදුවීම කෙටියෙන්
අසල්වැසි ඉරාකයේ විවිධ ෂියා හමුදා කණ්ඩායම්වලට ඉරානය සහාය දෙයි. සොලෙයිමානි බැග්ඩෑඩ් ගුවන්තොටුපළට පැමිණියේද එවැන්නකට වන අතර, එවැනි හමුදා නිලධාරීන් පිරිසක් සමග රථ කිහිපයකින් ගමන් කරමින් සිටියදී, ඔවුන්ගේ මෝටර් රථ එක්සත් ජනපද මිසයිල ප්‍රහාර කිහිපයකට හසු විය.
ගුවන් ප්‍රහාරයෙන් කටයිබ් හිස්බුල්ලා කණ්ඩායමට අණ දුන් ඉරාක හමුදා නායකයෙකු වන අබු මහඩි අල් මුහන්දිස් ද මිය ගියේය.
ප්‍රහාරයෙන් මියගිය කාසෙම් සොලෙයිමානි යනු කවුද?
62 හැවිරිදි සොලෙයිමානි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට පිටුපසින් ඉරානයේ සිටින දෙවන බලවත්ම පුද්ගලයා ලෙස සැලකේ.
ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ (අයිආර්ජීසී) ප්‍රභූ ඒකකයක් වන කොඩ්ස් බලකාය කෙලින්ම අයතුල්ලාට වාර්තා කළ අතර සොලෙයිමානි වීරෝදාර ජාතික චරිතයක් ලෙස ප්‍රශංසාවට ලක් විය.
කොඩ්ස් බලකායේ ඔහුගේ 21 වසරක නායකත්වය යටතේ ඉරාන හිස්බුල්ලා කණ්ඩායම සහ ලෙබනනයේ අනෙකුත් ඉරානය සමග සබඳතා ඇති සටන්කාමී කණ්ඩායම් ශක්තිමත් කළේය. ඉරාකයේ සහ සිරියාවේ සිය හමුදා පැවැත්ම පුළුල් කළේය. එම රටේ දීර්ඝ කාලීණ සිවිල් යුද්ධයේදී කැරලිකරුවන්ට එරෙහිව සිරියාව විසින් එල්ල කරන ලද ප්‍රහාරය මෙහෙයවීය.
එක්සත් ජාතීන්ගේ ස්ථාවරය
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ මැද පෙරදිග තත්වය පිළිබඳව තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.
“මෙය නායකයින් උපරිම සංයමයකින් යුතුව කටයුතු කළ යුතු මොහොතක් බවත් ගල්ෆ් කලාපයේ තවත් යුද්ධයක් ලෝකයට දැරිය නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක ෆර්හාන් හක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම පුවත නවතම තොරතුරු සමඟ යාවත්කාලීන කරනු ලබන බව කරුණාවෙන් සළකන්න. එයින් මෙම පුවතට අදාළ සියළු තොරතුරු එකම දිගුවක් ඔස්සේ කියවීමට අවස්ථාව හිමි වේ.

