දේශීය පුවත්

අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් 200 තවමත් බඳවාගෙන නෑ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශන නිලධාරීන් 200ක් අලුතින් බඳවා ගැනීම සඳහා 2018 වසරේදී පුවත්පත් දැන්වීමක් පළ කළ අතර දැනට විමර්ශන නිලධාරීන් ලෙස පොලිසියෙන් ලබාගත් නිලධාරීන් වෙනුවට නව නිලධාරීන් යොදා ගැනීමට තීරණය කර තිබුණි.

එම තනතුර සඳහා 2018 ඔක්තොම්බර් මස පැවති තරඟ විභාගයෙන් 408 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබා ඇති බවටත් තොරතුරු වාර්තා වූ අතර පසුගිය 2019 සැප්තැම්බර් මාසය වන විට සියළුම සම්මුඛ පරීක්ෂණ අවසන් කර විභාගයට අදාළ ලකුණුද ප්‍රසිද්ධියට පත් කර ඇති බවද වාර්තා වේ.

එවන් පසු බිමක මෙතෙක් ඊට අදාළ පත්වීම් ලබා දීමට එම කොමිසම අපොහොසත් වී තිබේ. බඳවා ගැනීම සම්බන්ධයෙන් රූපවාහිනී හා පුවත්පත් සාකච්ඡා රැසකට සහභාගී වෙමින් එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ මෙම බඳවා ගැනීම් ඉතාමත් ඉක්මණින් කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවයි.

රිවිර.lk මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී වාර්තා වූයේ මුදල් අමාත්‍යංශයෙන් ඊට අදාළ අනුමැතිය තවමත් ලබා දී නැති බවයි.

විමර්ශන නිලධාරී තනතුරට අමතරව නිවාරණ නිලධාරීන් 50 දෙනෙකු හා නීති සහකාර ලෙස 17 දෙනෙකුත් බඳවා ගැනීමට අදාළ පියවර අවසන් කර ඇති බවද වාර්තා වේ. එහෙත් ඔවුන්ටද මෙතෙක් පත්වීම් ලැබී නැති බවද වාර්තා වේ.

ආණ්ඩුවක් වෙනස් වූ විටෙක මෙලෙස බඳවා ගැනීම පමණක් ඉතිරි වූ අවස්ථාවන් හීදී එම බඳවා ගැනීම අත්හිටුවා අලුතින්ම බඳවා ගැනීමට තීරණය කළ අවස්ථා මීට පෙර අවස්ථාවල උදාහරණ තිබේ. එවැන්නක් සිදුවුවහොත් එයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා නැවත වරක් මුදල් වියදම් කරමින් කිරීමට සිදු වේ. එයින්ද රජයකට සිදුවන්නේ මූල්‍යමය පාඩුවකි.

මෙම පුවත සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් හෝ නිවැරදි කිරීමක් ඇත්නම් riviranews.lk@gmail.com ලිපිනයට අනන්‍යතාවය සහිතව කරුණු දන්වන්න.

Rivira FB Group Rivira Youtube
To Top