දේශීය පුවත්

රන්ජන්ටත් ඇප

එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබාගැනීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන ජනවාරි 5 දින පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය. ඇප නියෝගය ලබාදෙමින් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා, මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කළේය.

පොලිස් මූලස්ථානය ජනවාරි 5 දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන ආයතන මගින් සිදුකරන ලද විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැකකෙරෙන දෘඩ තැටි හා සංයුක්ත තැටි කිහිපයක් මන්ත්‍රීවරයාගේ නිවසින් සොයාගෙන ඇති බවයි.

සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව පොලීසිය විසින් ගිනිඅවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත හා දණ්ඩ නීති සංග්‍රහයේ 102,120,113 හා  215 යන වගන්ති යටතේ චෝදනා ගොණු කර තිබුණි. කරුණු සළකා බැලීමෙන් අනතුරුව, රු. ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා නිදහස් කෙරුණා. වැඩිදුර නඩු විභාගය ජනවාරි 17 වන දිනට කල් තැබීමට ද අධිකරණය නියෝගය කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇති වී තිබීමද විශේෂත්වයක්.

අත්අඩංගුවට ගත් රන්ජන් අධිකරණය හමුවට (ජනවාරි 5, පෙරවරු 9ට)

ජනාවරි 4 රාත්‍රියේ අත් අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතා වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරු ජනවාරි 5 දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ  (04) රත්‍රී 07:30ට පමණ අත් අඩංගුවට ගනු ලැබූ රංජන් රාමනායක පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයා අද වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරනවා.

රන්ජන් රාමනායක අත්අඩංගුවට (ජනවාරි 4, පස්වරු 7.40ට)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය මගින් මෙම අත්අඩංගුවට ගැනීම ජනවාරි 4 සෙනසුරාදා පස්වරු 7.30ට පමණ සිදු කර තිබෙනවා.

ඒ නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම හා සැකකටයුතු ලේඛණ කිහිපයක් තබා ගැනීම යන චෝදනා යටතේය. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිවස පරික්ෂා කිරීමට ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත නිවස පරික්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සොයාගත් බව පොලීසිය කියයි.

රන්ජන් රාමනායකගේ නිවස දැඩි පරීක්ෂාවකට (ජනවාරි 4, පස්වරු 4.30ට)

හිටපු නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් සෝදිසියට ලක්කරමින් සිටින බව වාර්තා වේ.

කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ජනවාරි 4 දහවල් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව නිවස පරීක්ෂා කිරීම සිදුකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ රජය අපහසුතාවයට පත්වන අන්දමේ වීඩියෝපට, දුරකතන සංවාද හා ඡායාරූප සහිත දෘඩ තැටියක් (Hard Disk) හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ සිදුකරන බවයි.

මෙම පුවත නවතම තොරතුරු සමඟ යාවත්කාලීන කරනු ලබන බව කරුණාවෙන් සළකන්න. එයින් මෙම පුවතට අදාළ සියළු තොරතුරු එකම දිගුවක් ඔස්සේ කියවීමට අවස්ථාව හිමි වේ.

Rivira FB Group Rivira Youtube
To Top