“සුදු වෑන් මාධ්‍ය හමුව” සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පැය 4ක පමණ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ජනවාරි 13 දින ලබා දී ඇත. එහෙත් මන්ත්‍රීවරයා මාධ්‍යට කිසිඳු අදහස් පළ නොකර ඉන් පිටව ගියේය.
අදාළ ප්‍රකාශය ලබා දුන්නේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු අවස්ථාවේ කළ නියෝගයක් අනුවයි.
සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළ සියලු දෙනාට ඇප (ජනවාරි 6)
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සුදු වෑන් රියැදුරන් ලෙස පෙනී සිටි දෙදෙනා සහ ඔවුන්ට මුදල් ගෙවූ බවට චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි, ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ අනුව සැකකරුවන් තිදෙනාව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙක් බැගින් වූ ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න නියෝග කළ අතර සියළු සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරිමටද නියම කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඉහත කී තිදෙනා ජනවාරි 6 දින අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලබැ අවස්ථාවේදී “සුදු වෑන් මාධ්‍ය හමුවට” සහභාගි වූ සරත් කුමාර සහ සංජිව මදනායක යන සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයින් මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශ ලබා දීමට සූදානම් බව යළිත් වරක් අධිකරණය වෙත දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කළේ මෙම සැකකරුවන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ වූ මිනීමැරුම් චෝදනා ඉදිරිපත් නොකරන අතර දණ්ඩ නීති සංග්‍රහයේ 169, 140 සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ 80 යන වගන්ති යටතේ එම සැකකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන බවයි.
මෙම නඩුවේ 4 වන සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් වෙනුවෙන් පෙනී සිටියි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට එල්ල කර තිබෙන වැරදි ඇප දිය හැකි වැරදි බැවින් ඔහුව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කළේ රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් දෙදෙනාගේ බිරින්දෑවරුන්ට ඉකුත් නඩු දිනයේ අධිකරණ භූමියේදී “උපැස් යුවලක් පැළඳගත් නීතිඥවරයෙකු” පැමිණ ප්‍රකාශයක් ලබා නොදෙන ලෙස බලපෑම් සිදුකර ඇති බවයි. “ඇමතිතුමා විසින් නීතිඥවරු ලබාදෙන බවට” එම පුද්ගලයා විසින් රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන්ගේ ඥාතීන්ට දැනුම් දී ඇති බව කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙය විමර්ශනයට කළ ඍජු බලපෑමක් බවත් එබැවින් ඇප ලබාදුනහොත් විමර්ශන වලට දැඩි බලපෑම් එල්ල විය හැකි බවටත් අනතුරු අඟවා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහොමඩ් රූමි අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳ ප්‍රශ්න කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ, රූමි මොහොමඩ් නමැති සැකකරුට එල්ල කර තිබෙන චෝදනා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත නොහැකි, “සංඥාය නොවන වැරදි” බවයි. එබැවින් මෙම සැකකරු පොලිසියට ඉදිරිපත් වූ අවස්ථාවේ අධිකරණයේ නියෝගයකින් තොරව මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ කෙසේදැයි මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් විමසා සිටියා.
ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයට කියා සිටියේ අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ තමා විසින් නොවන බවයි.
මහේස්ත්‍රාත්වරියගේ ප්‍රශ්නයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මෙම සැකකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා ඇප දිය හැකි වැරදි බවයි. මේ දක්වා සිදුකර ඇති විමර්ශන වලට එම සැකරුවන් බාධාවක් සිදු කර ඇති බවක් පෙනී නොයන බව ද ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළාය.
ඒ අනුව සැකකරුවන් තිදෙනාම ඇප මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය නඩු විභාගය 2020 පෙබරවාරි මස 27 වනදා යළි කැඳවීමට ද නියම කළාය.
එදිනට සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ ඉල්ලීමක් සළකා බලමින්, රෝහලෙන් පිටවූ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස රාජිත සේනාරත්නට, මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා.
බන්ධනාගාරයට නොගිය රාජිතට සැප රෝහලේ සිටම ඇප ලැබේ (දෙසැම්බර් 30, පස්වරු 7ට)
“සුදු වෑන් මාධ්‍ය හමුව” සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළද “සෞඛ්‍ය හේතූන් මත” නාරාහේන්පිට සුපිරි පෞද්ගලික රෝහලක් වන ලංකා හොස්පිටල්ස් හී ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ඇමති රාජිත සේනාරත්න ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (දෙසැම්බර් 30) නියෝග කර තිබේ.
රාජිත සේනාරත්න රිමාන්ඩ්, ඒත් සැප රෝහලේමයි
කොළඹ පෞද්ගලික රෝහලකදී අද පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න දෙසැම්බර් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.
කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට පත් වුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවෙන් දින තුනකට පසුවයි. ඔහු මේ වන විටත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ රැදී සිටින්නේ අදාළ පෞද්ගලික රෝහල තුළය.
කෙසේ නමුත් අධිකරණයෙන් වරෙන්තු හිමිවී තිබුණු පසුබිමක දින දෙකක් ඔහුට අයත් නිවාසවල රැඳී නොසිටි රාජිත සේනාරත්න මහතා ඊයේ පස්වරුවේ නාරාහෙන්පිට පිහිටි පෞද්ගලික රෝහලක හෘද රෝග ඒකකයට ඇතුළත්ව තිබුණි.
රාජිතව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
“සුදුවෑන් මාධ්‍ය හමුව” සම්බන්ධයෙන්ට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(24) වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ රහස් පොලිසියෙන් කළ ඉල්ලීමකට අනුවයි.
රාජිතව අත්අඩංගුවට ගන්නැයි CIDයට නීතිපතිගෙන් උපදෙස්
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙසත් ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලෙසත් නීතිපතිවරයා විසින් දෙසැම්බර් 24, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
“සුදු වෑන් මාධ්‍ය හමුවට” අදාළව මන්ත්‍රීවරයාව මෙසේ අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් නිකුත් කර තිබේ.
රාජිත සේනාරත්නට විදෙස් ගමන් තහනම් කෙරේ
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙසැම්බර් 23, ආගමන සහ විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.
රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ආගමන සහ විගමන පාලකවරයා වෙත මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය.
රහස් පොලිසිය විසින් අධිකරණය හමුවේ ගොනු කරන ලද වාර්තාව මගින් සඳහන් කර තිබුණේ පරීක්ෂණයට භාජනය වී තිබෙන “සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව” හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ ඔහුගේ පූර්ණ අනුග්‍රහය මත සිදුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බවයි. කරුණු එසේ තිබියදී රාජිත සේනාරත්න මහතා විදේශ ගත වූ ඉදිරි පරීක්ෂණ වලට බාධා සිදුවිය හැකි බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව ඒ මහතා විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් ආගමන සහ විගමන පාලකවරයා වෙත නිකුත් කර ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
රාජිතගෙ ඇප ඉල්ලීම සළකා බැලීම 30 වැනිදා දක්වා කල් යයි
අපේක්ෂිත ඇප ඉල්ලා රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ 3වැනි ඇප අයදුම්පත් දෙවන වරට සළකා බැලීමෙන් අනතුරුව දෙසැම්බර් 30 වැනිදා යළි කැඳවීමට අධිකරණය තීරණය කර තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දෙසැම්බර් 23 එම තුන්වැනි ඇප ඉල්ලීම සිදුකළ අතර ඒ පිළිබඳ කරුණු සලකා බැලීමෙන් පසු එය යළි කැදවීමටයි අධිකරණය නියම කර ඇත්තේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න 3 වැනි ඇප අයදුම්පත දෙසැම්බර් 23 උදෑසන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. පළමු ඇප අයදුම ප්‍රතික්ෂේප වීමත් සමග දෙවන ඇප අයදුම එදිනම ඉදිරිපත් කළ අතර ඊටද සංශෝධන එක් කරමින් 3වැනි ඇප අයදුම්පතත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දෙසැම්බර් 23 උදෑසන ඉදිරිපත් කර තිබෙනවා.
“සුදු වෑන් මාධ්‍ය හමුව” සම්බන්ධයෙන් තමා අත්අඩංගුට ගැනීමේ සූදානමක් ඇති බව කියමින් රාජිත සේනාරත්න, සංශෝධිත අපේක්ෂිත ඇප අයදුම්පතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දෙසැම්බර් 20 වැනිදා ඉදිරිපත් කළේය. ඒ මුල් ඇප අයදුම්පත එදින ප්‍රතික්ෂේප වීම නිසාවෙනි.
හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් “සුදු වෑන් මාධ්‍ය හමුව” සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් අපේක්ෂිත ඇප අයදුම්පතක් මුල් වරට දෙසැම්බර් මස 19 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
එම ඇප අයදුම දෙසැම්බර් 20 වැනිදා සළකා බැලූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප අයදුම ප්‍රතික්ෂේප කර තිබුණා.
තීන්දුව දෙමින් අධිකරණය පෙන්වා දී ඇත්තේ “තමාව අත්අඩංගුවට ගන්නේ කුමන වගන්ති යටතේද, කුමන වැරදි සඳහා ද යන්න පිළිබඳව පැහැදිලිව එම පෙත්සමේ හෝ දිවුරුම් ප්‍රකාශයේ කරුණු ඉදිරිපත් නොකිරීම” මත අයදුම්පත ප්‍රතික්ෂේප කරන බවයි.
මෙම පුවත නවතම තොරතුරු සමඟ යාවත්කාලීන කරනු ලබන බව කරුණාවෙන් සළකන්න. එයින් මෙම පුවතට අදාළ සියළු තොරතුරු එකම දිගුවක් ඔස්සේ කියවීමට අවස්ථාව හිමි වේ.

