දේශීය පුවත්

වසර 3ක සිරදඩුවම් ලැබූ සරණට, ඇප මත නිදහස

වසර 3ක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරිණි. රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස ඇප නියෝගයේ සඳහන්.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටි සමයේ සිදුකළ වාහන බදු ගැනීමකට අදාළ නඩුවේ තීන්දුව ලබාදීම සඳහා නඩුව යළි කැඳවූ ජනවාරි 7 දින සරණ ගුණවර්ධනට, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වසර 3ක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම කළාය.

තමාට එරෙහිව නියම කළ දඬුවමට එරෙහිව එදිනම මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහු ඇප මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළා ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සරණ ගුණවර්ධනට සිර දඬුවම් නියම කෙරුණේ, අයුතු ගනුදෙනු තුළින් රජයට පාඩු සිදු කිරීමේ චෝදනාවට වරදකරු කරමින් ය.

සරණ ගුණවර්ධන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ 2007 වසරේ මැයි 5 වැනිදා සිට 2008 වසරේ අප්‍රේල් 30 දක්වා කාලය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාහන 3ක් ලීසිං පදනමට මිලදී ගැනීමේදී රුපියල් 960,000 බැගින් අයුතු ලෙස බදු අත්තිකාරම් ගෙවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් චෝදනා 3ක් ගොනුකර තිබුණි.

Rivira FB Group Rivira Youtube
To Top