දේශීය පුවත්

නිවාස සැළසුම් අනුමැතිය දිනකින්, පළමු නිවසට සහනපොලී ණයක් – ජනපතිගෙන් නියෝග

නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, නිලධාරින්ට උපදෙස් දී තිබේ. ඒ ඉදිකිරීම් සඳහා වූ සැලසුම් අනුමත කිරීමේ දී පවතින දැඩි නීති රිති සහ දීර්ඝකාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වීම මග හැරවීම සඳහායි.

එහෙයින් පවතින නීති රීති සරල කර ජනතාව මුහුණ දෙන ගැටලු හැකි උපරිමයෙන් අවම කිරීම රජයේ වගකීමක් බව ජනාධිපතිවරයා නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින් සමග ජනවාරි 06 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී සඳහන් කළේය.

සැලසුම් අනුමැතිය සදහා පළාත් පාලන ආයතන වෙත බලතල ලබාදීම සහ සෙසු ආයතන කඩිනමින් ඊට අදාළ ප්‍රතිපාදන සැකසීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද උපදෙස් දුන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ දැනට අනුමත නොකළ සැලසුම් අනුමත කිරීම සම්බන්ධව නීතිය පිළිබඳ දැනුමක් ඇති නිලධාරියෙකු පත් කිරීමට පියවර ගන්නා ලෙසයි. අනුකූලතා සහතිකය දිනකදී ලබාදීම අනිවාර්ය කිරීමටද ජනාධිපතිවරයා නියෝග කළේය.

ජාතික භෞතික සැලැස්ම යාවත්කාලීන කිරීම පිළිබඳව ද එම රැස්වීමේ විශේෂ අවධානය යොමු විය. පළමු වතාවට නිවසක් ගන්නා අයෙකුට දීර්ඝ කාලීන ණය සහ සහනපොළි ක්‍රමයකට ණය නිකුත් කිරීම පිළිබද අවධානය යොමු කිරීමේ වැදගත්කමද සාකච්ඡාවට ලක් විය.

සැලසුම් අනුමත කිරීමේ දී එකම නීතිය ක්‍රියාත්මක නොකොට භූ විෂමතා සැලකිල්ලට ගෙන නිර්දේශයන් ලබාදීම කෙරෙහි ද අවධානයට ගෙන තිබේ. පළාත් සහ ප්‍රදේශ අනුව පවතින ආයෝජන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා වූ අනුමැතින් රාජ්‍ය ආයතන මගින්ම සිදු කර ආයෝජන මණ්ඩලයට දැනුම්දීමට පියවර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමගින් විදෙස් ආයෝජකයින් දිරි ගැන්වෙන අතර, සිය ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට ද අවස්ථාව උදා වන බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top