හිටපු රාජ්‍ය අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ බව පැවසෙන හඬ පට රැසක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. අධිකරණ විනිසුරුවරුන්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, නළු නිලියන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක් සමග රන්ජන් රාමානයක පැවැත්වූ බව කියන දුරකතන සංවාද බවට සැකකෙරෙන හඬපට රැසක් සමාජ මාධ්‍ය හරහා මෙලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.
මෙම සිදු වීමේ ආරම්භය වී ඇත්තේ ත්‍රිරෝද රථයක මගියෙකු දමාගොස් තිබූ දෘඩ තැටියක් එම ත්‍රිරෝද රථයේ රියැදුරු විසින් පොලීසියට බාර දීමෙන් පසු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාසය සෝදිසි කර ගිනි අවියක් හා දෘඩ තැටි, ඩීවීඩී ඇතුළ සැක කටයුතු ලේඛණ රැසක් පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුවයි. එදින සිට රන්ජන් රාමනායක විසින් පැවැත්වූ බව කියන “දුරකතන සංවාද සහිත” හඩපට මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබෙනවා.
බොහෝ දෙනෙකු ප්‍රශ්න කර සිටියේ පොලිසියට ලැබුණු හඬපට මෙලෙස මාධ්‍ය වෙත ලබා දෙන්නේ පොලිසිය විසින්ද යන්න පිළිබඳවයි. එහෙත් මේ සම්බන්ධයෙන් පොලීසිය ප්‍රකාශ කර සිටියේ හඬපට කිසිවක් කිසිම ආකාරයකින් මාධ්‍ය වෙත නිකුත් කර නැති බවයි. එමෙන්ම ඒවා තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවත් අධිකරණ ක්‍රියාමාර්ග හරහා රස පරීක්ෂකවරයාට යවා එම හඬපට පිළිබඳ විමර්ශන සිදු කිරීමට නියමිත බවයි.
මෙලෙස හඬපට නිකුත් වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එජාප පා.ම හිරුණිකා ප්‍රේමචන්ද පැවසුවේ අදාළ හඬපට රන්ජන් රාමනායකගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ පුද්ගලයෙකු විසින් මෙලෙස බාහිර පාර්ශවයන්ට ලබා දී ඇති බවයි.
එජනිස පා.ම. උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාද පැවසුවේ හඬපට පොලීසියට ලැබීමට සැළැස්වූ රන්ජන් රාමනායකගේ හිතවතෙකු පසු ඔහු සමග අමනාප වීම හේතුවෙන් එම හඩපට මාධ්‍ය වෙත හා ජාතික සංවිධානවලට මෙන්ම විවිධ පාර්ශව වෙත ලබා දී ඇති බවයි.
අප මේ සම්බන්ධයෙන් පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ හඬපට තමන් වෙත ලැබීමට පෙර වෙනත් පාර්ශවයන් අතර තිබූ බැවින් ඔවුන් ඒවායේ පිටපත් ලබාගෙන තිබිය හැකි බවයි. කිසිවිටෙක පොලීසිය හරහා හඬපට නිකුත් නොවන බව පොලීසිය අවධාරණය කර සිටිනවා.
කෙසේ වෙතත් නිකුත් වූ හඬපට සහ පොලීසිය වෙත ලැබුණු හඬපටවලට අදාළව එමගින් අධිකරණ කටයුතු හා නෛතික කටයුතු සම්බන්ධයෙන් සංවාද ඇතුළත් හඬපටවල පාර්ශවකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. දැනට ලැබී ඇති තොරතුරු අනුව පොලිස් බාරයට ගැණුනු හඬපට ප්‍රමාණය ලක්ෂයකට අධික බව පැවසෙනවා. එබැවින් ඒ සියළු හඩපට පරික්ෂා කිරීමට කාලයක් ගත වන බවද වාර්තා වේ.

