හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙරට 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ 2015 ජනවාරි 9 වැනි දිනයි. ඊට 5 වසරක් සපිරෙන 2020 ජනවාරි 9 වන අද දින වන විට ශ්‍රී ලංකා 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ධූරයට පත්ව මාස එකහමාරක් පමණ ගෙවා තිබේ.
මෙරට විධායක ජනාධිපතිවරුන් අතරින් ඡන්දයෙන් තේරී පත් වූ සියළු ජනාධිපතිවරුන් 5 වැනි වසර ජනාධිපතිධූරයේ රැඳී තිබේ. එහෙත් 19 වැනි සංශෝධනයෙන් වසර 6ක්ව පැවති ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් දක්වා අඩු කෙරිණි. මැතිවරණ නීතිය අනුව ඡන්ද විමසීම හා නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම වසර 5 ගතවීමට පෙර සම්පූර්ණ කර තිබිය යුතුය. ඒ අනුව 2019 නොවැම්බර් මස 16 වන දින 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වූ ජනාධිපතිවරණය පැවැත්විණි. යම් හෙයකින් ධූරයේ සිටින ජනාධිපතිවරයා යළි තේරී පත්වූවහොත් තම ධූර කාලය අවසන් වන දිනය තෙක් සිට නැවත දිවුරුම් දිය හැකි වුවත් වෙනත් අයෙකු පත්වුවහොත් පත්වන තැනැත්තාට ධූරය බාර දීම සම්ප්‍රදායක් වී තිබේ.
ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ධූරයේ කටයුතු කර ඇත්තේ වසර 4කුත් මාස 10ක් හා දින 8කුත් පමණි. දවස්වලින් දවස් 1773ක් මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කර තිබේ. ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයෙක් ධූරයේ සිටි දෙවන අඩුම කාලය ලෙස එය වාර්තා වේ. 2 වැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමුවැනිදා ඝාතනය වන විට ඔහු ජනාධිපතිධූරයේ වසර 4කුත් මාස 4ක් කටයුතු කර තිබුණි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟකර ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූයේ මිලියන 6.2කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනි. ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළ දැඩි ප්‍රතිපත්ති පිළිබඳ ජනතාවගේ ඉහළ ප්‍රසාදයක් හිමි විය.
ඔහුගේ ප්‍රධානත්වයෙන් සිදුකළ 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිධූරයේ බලතල සීමා කිරීම හරහා ඔහු විසින්ම සිදුකළ ක්‍රියාවක් අධිකරණය හමුවේ ආපසු හැරවීමට සිදුවිය. ඒ අගමැතිධූරයේ සිටි රනිල් වික්‍රමසිංහ ඉන් ඉවත් කර මහින්ද රාජපක්ෂ පත් කිරීමට ගත් තීරණයයි. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු එම බලය අහෝසි වී ඇති බව අධිකරණය විසින් තීරණය කර තිබේ.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ නිල තේමා ගීතය පහතින්.

