මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් සරසවි සිසුහු ජනවාරි 9 දින පස්වරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබූ අතර පසුව පෙළපාලියෙන් පැමිණ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් විරෝධතාවයේ නිරත වී තිබේ.
මේ පිළිබඳ සැලවීමත් සමග ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ සිසුන්ට කිසිදු බාධාවකින් තොරව ජනාධිපති කාර්යාල අභියසට පැමිණිමට අවස්ථාව සලසන ලෙසයි.
එහෙත් ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා කාර්යාලයෙන් පිටත පෙර යොදාගත් රාජකාරී කටයුත්තක නිරතව සිටි හෙයින් ඔවුන් සමග සාකච්ඡා කර විසඳුම් සෙවීමේ වගකීම ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුට පවරා ඇති අතර ඊට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ද සම්බන්ධ කරගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබිණි.
ඒ අනුව ශිෂ්‍ය ඉල්ලීම් පිළිබඳව එම අවස්ථාවේම ජනාධිපති ලේකම්වරයා දැනුවත් කළ නිලධාරිහු ඊට අදාළ උපදෙස් ලබා ගැනීමද විශේෂත්වයකි.
නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල හිඟ මහපොළ සහ ශිෂ්‍යාධාර මුදල් එළැඹෙන ජනවාරි 12 වැනි සදුදා වන විට ගෙවීමට එහිදී නිලධාරීන් තීරණය කර තිබේ. දේශන සඳහා පැමිණීම දින 80% සම්පූර්ණ කර නැති සිසුන්ටද මහපොළ ලබාදීම, ශිෂ්‍යාධාර සහ මහපොළ සම මට්ටමට ගෙන ඒම, සබරගමුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් පැණ නැගී ඇති ගැටලු විසඳීම, ශිෂ්‍යාධාර පිරිනැමීමේ දී සලකා බැලෙන දෙමාපිය ආදායම ලක්ෂ 07ක් දක්වා වැඩි කිරීම හා වැඩකරන ජනතාවගේ වැටුප් වැඩි කිරීම යන යෝජනා සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදීම කෙරෙහි නිලධාරීන්ගේ අවධානය යොමු විය. ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් සමග සම්බන්ධීකරණයකින් යුක්තව කටයුතු කිරීමටද තීරණය කෙරිණි.
සාකච්ඡාවට ගැනුණ කරුණු ලිඛිතව ලබාදීමට කටයුතු සැළස්වූ අතර පවතින ගැටලු සම්බන්ධයෙන් මසකට වරක් හෝ සිසුන්ගේ කැමැත්ත පරිදි සති දෙකකට වරක් හෝ සාකච්ඡා කිරීමටත් නිලධාරීන් විසින් යෝජනා කෙරිණ. ඒ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා කර තීරණයකට එළැඹෙන බව ශිෂ්‍ය නියෝජිතයෝ සඳහන් කර තිබේ.
සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටියහ සිසුහු ඉතා සාමකාමීව විසිර ගිය අතර ජනාධිපති කාර්යාලය අසලට රැස්වූ සිසුන්ට සවන් දී ඔවුන් සමග එකඟතාවයකට පැමිණි පළමු අවස්ථාව ලෙසද වාර්තා වේ.
ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් සහ නිලධාරිහු පිරිසක් සාකච්ඡාවට සහභාගී වුහ.

