විශ්ව ශක්තියෙන් රෝගීන් සුව කරන බව පවසමින් “දෙව් සුව සේවා වැඩසටහන” පවත්වන දීගොඩ කුමාර නමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
17 හැවිරිදි රෝගී දරුවෙකුට විශ්ව ශක්ති වැඩසටහනදී “පාන් ආහාරයට ලබාදීමෙන්” අනතුරුව පසු එම දරුවා දැඩිලෙස රෝගාතුර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට ජනවාරි 8 දින කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත නියෝගය නිකුත් කර තිබෙනවා.
පසුගිය වසරේ සැප්තැම්බර් 7 වැනි දින දීගොඩ කුමාර නැමැත්තා විසින් හොරොව්පතානේ පැවැත්වූ “සුව කිරීමේ මෙහෙයකදී” දෙදෙනෙකු මියගොස් 18 දෙනෙකු අසාධ්‍යතත්ත්වයෙන් රෝහල් ගත කිරීමත් සමග සමාජයේ මේ පිළිබඳ ආන්දෝළනාත්මක තත්වයක් හටගත් අතර පසුව අම්පාර ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී ද ඊට සහභාගී වූ කිහිප දෙනෙකු රෝගාතුර වීමේ තත්ත්වයක් නිසා එම වැඩසටහන අත්හැර දමන්නට ද සිදු වී තිබිණි.
මෙම සිද්ධීන් වාර්තා කළ මාධ්‍ය ආයතනවලටද විටින් විට දුරකතන ඇමතුම් මගින් තර්ජන ද එල්ල වූ බවටම මාධ්‍ය වාර්තා පළ වෙමින් තිබිණි. එහෙත් දීගොඩ කුමාර නමැත්තා එම වැඩසටහන් දිගටම පවත්වාගෙන ගිය අතර පසුගිය ඔක්තොම්බර් මස 17 වැනි දින පිළියන්දල ප්‍රදේශයේ පැවති “මෙහෙයකදී” ඉහත කී දරුවාට ආහාර ලබා දී තිබෙන අතර පසුව ඔහු දැඩි ලෙස රෝගාතුර වී තිබෙනවා. පසුව දරුවාගේ බාරකරුවන් වහාම ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබුණි.
ඊට අදාළ නඩුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේ පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ එම වැඩසටහනේ දී ලබාදුන් ආහාර ගැනීමෙන් අනතුරුව දරුවා දැඩි ලෙස රෝගී වී ඇති බවත් අසාධ්‍ය තතත්වයේ පසුවූ දරුවා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත් පරීක්ෂණවලදී හෙළි වී තිබෙන බවයි.
එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් දීගොඩ කුමාර නමැත්තා අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදී කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත පොලිසියෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව දණ්ඩනීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව එහි 300 වෙනි වගන්තිය ප්‍රකාරව “මිනී මැරීමට තැත් කිරීම” යන චෝදනාව යටතේ වහාම දීගොඩ කුමාර නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

