දේශීය පුවත්

බුද්ධි ගලනයට වැට බැඳිය යුතු බව ජනාධිපතිවරයා ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී කියයි

රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනය අත්‍යවශයෙන්ම පාලනය කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සහතික වන්නේ නම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සදහා විදෙස් සිසුන් ද ආකර්ශනය කරගත හැකි බවත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය රට වෙනුවෙන් විදේශ විනිමය උපයන මාර්ගයක් බවට පරිවර්තනය කළ හැකි බවද ජනාධිපතිවරයා කියා සිටී.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2019 උපාධි ප්‍රදානෝත්සවයට ජනවාරි 10 දින පස්වරුවේ එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී විද්‍යාර්ථයින් එක් දහස් දෙසිය අසු දෙදෙනෙකුට උපාධි පිරිනැමිණ. දර්ශනපති උපාධි ලාභියෙකු ඇතුළු පශ්චාත් සහ විද්‍යාපති උපාධිධාරිහු 224 දෙනෙක් ඔවුන් අතර වෙති. ප්‍රථම උපාධිධාරින් ගණන 1057 කි.

2019 වසරේ විශිෂ්ට දක්ෂතා දැක්වූවන්ටතිළිණ ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය 1981 වසරේ දී අංක 61 දරණ පාර්ලිමේන්තු පණත මගින් උසස් දැනුමෙන් යුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන් බිහි කිරීමේ අරමුණින් ඇරඹිණ. 2009 වර්ෂයේ දී එවකට ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙය පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත් කළේය. නීති පීඨය හා වෛද්‍ය පීඨය පිහිටුවීම, දේශීය හා විදේශීය සිවිල් සිසුන් ඇතුලත් කර ගැනීම, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරම් සදහා පශ්චාත් උපාධි අධ්‍යාපන අවස්ථා හදුන්වාදීම, දක්ෂිණ මණ්ඩපය සුරියවැව පිහිටුවීම මෙන්ම අති නවීන රෝහලක් ආරම්භ කිරීම ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත එම කාලයේදී සිදු කෙරිණි.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය රට තුළ පමණක් නොව කලාපයටම ආදර්ශමත් උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත්විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුළ පරිවර්තනීය බලපෑමක් ඇති කර තිබෙන බවත් එය සෑමවිටම ආරක්ෂා කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. පෞද්ගලික අධ්‍යාපනය සඳහා මූල්‍යමය ශක්තිය පවතින අයට විදෙස්ගත නොවී උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවකාශය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.

රටේ අධ්‍යාපන පද්ධතියේ සැබෑ ශක්‍යතා විවර කර ගැනීමට අප තව බොහෝ දේ කළයතුය. වර්තමාන අධ්‍යාපන ක්‍රමය විභාග ඉලක්කරගත් එකක් බවත් එය සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පටු වීමට හේතු වී ඇති බවත් දැනුම, නිපුණතා සහ කුසලතා සැලකිල්ලට නොගෙන විභාග ප්‍රතිඵළ මත අනාගතය තීරණය කරනු ලැබන බවත් කී ජනාධිපතිවරයා ඒ නිසා දෙමාපිය සහ සමාජ අසහනය වැඩි වී තිබෙන බවද පෙන්වා දුන්නේය. දරුවන්ගේ ජිවිතයේ වඩා තීරණාත්මක අවධිවල පුද්ගල අභිවෘද්ධිය සදහා වන අවස්ථා රැසක් අහිමිව ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ දරුවන්ට අධ්‍යාපනය තුළ අතරමංවිමට ඉඩ දිය නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා රජය මෙන්ම පෞද්ගලික අංශයේ අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු බවද කීය. විශ්ව විද්‍යාල සහ අනෙකුත් තෘතියීක අධ්‍යාපන ආයතන සදහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහල නැංවීම ඉතා වැදගත් බව ද පෙන්වා දුන්නේය. රජයේ විශ්ව විද්‍යාලවල යටිතල පහසුම් සංවර්ධනයට සහ මානව සම්පත් වර්ධනයට වැඩි වශයෙන් ආයෝජනය කිරීමට කටයුතු කරන බව කී ජනාධිපතිවරයා විශ්ව විද්‍යාලවලින් පිරිනමනු ලබන උපාධි පාඨාමාල සිසුන් අපේක්ෂා කරන රැකියා අවස්ථා ළගා කර ගැනීමට උපකාර වන අන්දමින් නිර්මාණය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

21 වන සියවස දැනුමේ සියවස බවත් කෘතීම බුද්ධිය, දත්ත, රොබෝ තාක්ෂණය, අන්තර්ජාලය සහ ජෛව තාක්ෂණය, ස්වයංක්‍රීයකරණය වැනි තාක්ෂණික අංගයන් ඉදිරි දශක කිහිපය තුළ සංවර්ධිත රටවල ආර්ථික වර්ධනය ප්‍රතිනිර්මාණය කරනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර පර්වර්තනීය තාක්ෂණයන් විසින් ලබා දෙන අවස්ථා කල්තියාම හඳුනාගත යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තෘතීයික අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රාජ්‍ය සම්පත් නොමැතිකම බාධකයක් නොවිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. රට තුළ ඉහල ගුණාතමකභාවයකින් යුත් තෘතියික අධ්‍යාපන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව ඉහළ දැමිය හැකි නම් බුද්ධි ගලනය වළක්වා ගත හැකිවනවා සේම අපගේ විදේශ සංචිත සැලකිය යුතු මට්ටමින් රටින් පිටවිම අවම කර ගැනීමට උපකාරී වන බවද සඳහන් කළේය.

වෘත්තීය අධ්‍යාපන ආයතනවල සහ කාර්මික විද්‍යාලවල ගුණාත්මකභාවය ගෝලීය ප්‍රමිතින්ට අනුකූලව වැඩිදියුණු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි පෙර පාසල් අධ්‍යාපනයේ සිට තෘතියික අධ්‍යාපන මට්ටම දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම්සහගතව කටයුතුකරන බව පැවසූ ජනාධිපතිතුමා ඒ සදහා සහාය වන ලෙස ද ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙක් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු සහ කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ කුලපති අද්මිරාල් දයා සදගිරි, උප කුලපති එයාර් වයිස් මාර්ශල් සාගල කොටකදෙණිය අතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top