සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සංචාරක අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
2025 වන විට ඇ.ඩො. මිලියන 10 ඉක්මාව ගිය ආදායමක් ඉපැයීම අරමුණක් සහිතව රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා කියා සිටියා. වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායකකරගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතු බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ ජනවාරි 13 දින පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.
“ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ කැපවීම සහිත දක්ෂ කණ්ඩායමක් අපට අවශ්‍යයි. හැම පියවරකින්ම කඩිනම් ප්‍රතිඵල අත්කරගත යුතුය. ගත යුතු තීන්දු තීරණ රට වෙනුවෙන් නොබියව ගැනීමට මම සූදානම්. තීරණවල ප්‍රතිඵල රටට සහ ජනතාවට හිමිකරදීමට නිලධාරීන් කැපවනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඇත්නම් ඕනෑම අභියෝගයක් ජයගන්න පිළිවන්”. ජනාධිපතිතුමා කීය.
සංචාරක කර්මාන්තයේ හඳුනාගත් ගැටලු සහ එහි ප්‍රවර්ධනයට ගත යුතු තිරණ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මෙරටට පැමිණෙන සංචාරකයන්ට සැපයෙන පහසුකම් වැඩිදියුණු කළයුතුය. ගුවන් තොටුපොළේ සිටම පහසුකම් විධිමත් විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. සංචාරක ආකර්ශණයට ලක් වූ ස්ථාන වැඩිදියුණු කිරීමේ සහ එම ස්ථාන පිළිබඳ අවබෝධයක් ලබාදීමේ පුළුල් ප්‍රචාරණ යාන්ත්‍රණයක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
දේශීය ආයුර්වේද ක්‍රම සංචාරකයන්ගේ දැඩි ප්‍රසාදයට ලක්ව ඇත. මුහුදු රළ ක්‍රිඩා, ශ්‍රී ලාංකීය තේ ඇතුළු ශ්‍රී ලංකාවට සුවිශේෂ සහ අනන්‍ය වූ සංචාරක ආකර්ශණය දිනා ගත් ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට ප්‍රමුඛත්වය දිය යුතු බව ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් වෙළෙඳ සංකීර්ණ පවත්වාගෙන යා යුතු බවත් සංචාරකයන් ගෙන්වා ගැනීම පිළිබඳව ද විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා විසින් පැහැදිළි කෙරිණි. ශ්‍රී ලාංකිය ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ සංචාරයට සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව දැනුවත් කිරීමට තානාපතිවරුන් මගින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සංචාරක මණ්ඩලයට උපදෙස් දුන්නේය.
“ශ්‍රී ලංකන් ඇතුලු ගුවන් සේවා ගුණාත්මක සේවා ලෙස වැඩිදියුණු කළයුතුය. ආයතන 04 ක් ලෙස ක්‍රියාත්මක සංචාරක මණ්ඩලය එක් කරමින් සියලු ආයතන මනා සම්බන්ධීකරණයෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීම වැදගත්” බවද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
ඝෘජු ගුවන් සේවා ස්ථාපනය කිරීමෙන් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගත හැකි බව ද සාකච්ඡා වී තිබේ. යුරෝපා රටවල් ඉලක්ක කොට ඝෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහි ද සාකච්ඡාවේ දී අවධානය යොමු විය.
සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රය පිළිබද උපාධි හදාරන සිසුන්ට හෝටල් පාසලේ පුහුණුවක් දීමෙන් හෝටල් කළමනාකරුවන් බිහිකිරිමේ හැකියාව ද සාකච්ඡාවට ගැනිණ.
සංචාරක පොලීසිය යළි ක්‍රියාත්මක කිරීමට සහ ක්ෂේත්‍රයට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමට ද තීරණය කෙරිණි.
ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නීති රීතිවල සිදුකළ යුතු වෙනස්කම් පිළිබදව අවධානය යොමු වූ අතර අනවශ්‍ය අනුමැතීන් ඉවත් කිරීමේ වැදගත්කම සාකච්ඡාවට ලක් විය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරිය වන එස්.එම්. මොහොමඩ් සහ සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්.එස්. ප්‍රනාන්දු, සංචාරක අධිකාරියේ සභාපති කිමාර්ලි ප්‍රනාන්දු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ක්ෂේත්‍රයට අදාළ ආයතනවල ප්‍රධානීහූ මීට එක්ව සිටියහ.

