දේශීය පුවත්

අසාධ්‍ය තත්වයෙන් සිටි රාජිත, සුවය ලබා රෝහලෙන් පිටව යයි

“සුදු වෑන් මාධ්‍ය හමුව” සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසු හදිසියේ රෝහල්ගත වූ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රතිකාර ලැබීම අවසන් කර ඉන් පිටව ගොස් තිබේ.

පසුගිය දෙසැම්බර් මස 26 වැනිදා වෛද්‍ය රාජිත සේනාරත්න, නාරාහේන්පිට ලංකා හොස්පිටල්ස් පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කොට තිබුණි.

ඒ අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියේ ඉල්ලීම මත කටයුතු කළේය.

එහෙත් රෝහල්ගතව සිටින මන්ත්‍රීවරයා අපහසු තත්වයෙන් ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව අධිකරණයේදී ඔහුගේ නීතිඥයින් පැවසීය. ඒ අනුව ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රීවරයා එම රෝහලේ සිටියදීම අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

පසුව මහේස්ත්‍රාත්වරිය හා අධිකරණ වෛද්‍ය නිලධාරිනිය එම රෝහලටම ගොස් තීරණය කරනු ලැබුවේ ඔහු අත්අඩංගුවට ගැනීමට සුදුසු තත්වයේ පසු වන බවයි. එහෙත් බන්ධනාගාර නිලධාරීන්ට ඔහුව රැගෙන යාම සඳහා එම රෝහලේ වෛද්‍යවරුන් අවසර ලබා දී තිබුණේ නැත.

පසුව දෙසැම්බර් 30 වැනි දා යළි නඩුව කැඳවූ අවස්ථාවේ රාජිත සේනාරත්න ඇප මත මුදා හැරීමට නියෝග කරමින් රෝහලෙන් පිටවූ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණය නියම කර සිටියේය.

ඒ අනුව ජනවාරි 14 දින එම රෝහලේ කාර්ය භාර කළමනාකරු පැවසුවේ, වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකාර කටයුතු අවසන් කිරීමෙන් පසු මන්ත්‍රීවරයා ජනවාරි 14 අලුයම රෝහලෙන් පිටත්ව ගිය බවයි.

සම්බන්ධිත පුවත්
සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළ සියලු දෙනාට ඇප

Rivira FB Group Rivira Youtube
To Top