දේශීය පුවත්

රන්ජන් රාමනායකට ඇප, හඬ රන්ජන්ගේ බව තහවුරුයි

අධිකරණ විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාදවල නිරත වීම හරහා අධිකරණ කටයුතු වලට අයුතු මැදිහත් වීම ඇතුළු චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 26 බදාදා නියෝග කළේය.

ඒ නඩුව කැඳවූ අවස්ථාවේදීයි. එහිදී පෙනී සිටි රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ මාධ්‍යවල පලවූ හඬපට සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ සැසඳෙන බවයි.

රන්ජන් රිමාන්ඩ්, හඬ පරීක්ෂණය 23 (ජනවාරි 15 සවස 6 වාර්තාව)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනවාරි 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඔහු ජනවාරි 15 දින ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී මන්ත්‍රීවරයාගේ හඩ පරීක්ෂාවක් සඳහා ජනවාරි 23 දින රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලෙසද මහෙස්ත්‍රාත් වසන්ත කුමාර, බන්ධනාගාර කොමසාරිස් වෙත නියෝග කළේය.

රන්ජන් රාමනායක පොලිස් බාරයට පත්වෙයි (ජනවාරි 14, රාත්‍රී 8ට)

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් බාරයට ගනු ලැබුවා. මාචු දැමීමකින් තොරව පොලිස් ජීප් රථයට නංවාගන්නා අයුරු නිරීක්ෂණය කළ හැකි විය.

හඬපට සම්බන්ධයෙන් රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගෙන ඒ අනුව කටයුතු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත ජනවාරි 14 දින නියෝග කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) අනුව්‍යවස්ථාව යටතේ අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීම යන චෝදනාවට අදාළවයි. අදාළ චෝදනාව යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වන ප්‍රථම අවස්ථාව මෙම අවස්ථාව වාර්තා වී තිබේ.

මෙම පුවත නවතම තොරතුරු සමඟ යාවත්කාලීන කරනු ලබන බව කරුණාවෙන් සළකන්න. එයින් මෙම පුවතට අදාළ සියලු තොරතුරු එකම දිගුවක් ඔස්සේ කියවීමට අවස්ථාව හිමි වේ.

Rivira FB Group Rivira Youtube
To Top