දේශීය පුවත්

රජයේ ආයතනවල සභාපතිවරුන්ගේ දීමනා කපයි

රජයේ සියලු සංස්ථා, මණ්ඩල, අධිකාරි, කාර්යංශ හා රජය කොටස් හිමිකාරීත්වය දරන පොදු සමාගම් හා පෞද්ගලික සමාගම්වල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල ලබන දීමනා සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට ලැබිය හැකි උපරිම මාසික දීමනාව වන්නේ රු.100,000ක් හෝ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් මුදල යන දෙකෙන් අඩු දීමනාවයි. ඒ අනුව රාජ්‍ය ආයතන මෙන්ම සමාගම් සියල්ලේ සභාපතිවරයා ලබන දීමනාව මෙමගින් අඩුවනු ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම, ලේක්හවුස්, ලිත්‍රෝ ගෑස් වැනි රජය සතු සමාගම්වල සභාපතිවරුන්ට මෙතෙක් ඉහළ වැටුප් හා දීමනා ලැබුණු අතර ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නව චක්‍රලේඛය අනුව එම වැටුප් හා දීමනාව රු. 100,000කට සීමාවනු ඇත.

මීට අමතරව එම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙත මසකට රු. 25,000ක දීමනාවක් පමණක් ලැබීමට හැකි අතර වෙනත් කිසිඳු වරප්‍රසාදයක් හිමි නොවේ. ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂවරුන්ට රු. 100,000ක පමණ දීමනාවක් හ නවතම සුඛෝපභෝගී රථ ලබා දී තිබෙන බවටද තොරතුරු වාර්තා වේ. නව චක්‍රලේඛය අනුව රු. 25,000කට එය සීමා වනු ඇත.

තවද රාජ්‍ය ආයතන සඳහා ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් නොකිරීමටද, අත්‍යවශ්‍ය ආයතන ඇතොත් විශේෂ අවසරයක් මත පත් කිරීමටද තීරණය කර ඇත. දැනට පත් කර ඇත්නම් ඒ අය සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගැනීමට අමාත්‍යංශ ලේකම්වරුන්ට බලය ලබා දී තිබේ.

සභාපතිවරුන්ට ඉහත කී දීමනාවට අමතරව නිල වාහනයක් හා ලීටර් 150ක ඉන්ධන හෝ එම ප්‍රමාණයට අදාළ ඉන්ධන දීමනාව ලබා ගත හැක. මීට පෙර තිබූ තත්වය අනුව සභාපතිවරුන්ට ලීටර් 170ක් පමණ හිමි වූ අතර ඇතැම් ආයතන විසින් අසීමිත ඉන්ධන ලබා දී තිබෙන බවද වාර්තා වේ. මීට අමතරව ඇතැම් ආයතන විසින් සභාපතිවරයාගේ භාවිතයට වාහන කිහිපයක් වෙන් කර ඇති අවස්ථාද තිබූ අතර මෙමගින් එය පාලනය වනු ඇත.

ඉහත දීමනාවලට අමතරව දුරකථන දීමනාවද සභාපතිවරුන්ට ලබාගත හැකි අතර වෙනත් කිසිඳු දීමනාවක් ලබා ගත නොහැක.

ඇතැම් රාජ්‍ය සමාගම් සභාපතිවරුන් රු. මිලියන 20ක පමණ මාසික වැටුප් ලැබූ බවටද තොරතුරු වාර්තා වී තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top