දේශීය පුවත්

මෛත්‍රී හා රනිල් වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති අධිකරණයට දන්වයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ජනවාරි 20 දින ආරම්භ කළේය.

ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, ඒ සම්බන්ධයෙන් වගකීම් පැහැර හැර 2019 අප්‍රේල් 21 ජීවිත සිය ගණනක් බිලිගත් සිදුවීම වැළැක්වීමට අපොහොසත් වීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා කරමින් අදාළ මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘ, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙනිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සුරසේන යන විනිසුරුවරුන් හමුවේ අදාළ පෙත්සම විභාගයට ගැණින.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් අධිකරණයට දන්වා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී නොසිටින බවයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා වෙනුවෙන් පෞද්ගලික නීතිඥයින් දෙදෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට මාර්තු 06 දක්වා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කාලය ලබා දී තිබේ.

පෙත්සම් වැඩිදුර විභාග කිරීම මැයි 12, 13 සහ 14 යන දිනවල දී පැවැත්වීමටද නියම කරන ලදී.

Rivira FB Group Rivira Youtube
To Top