වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ පැවැත්වූ බව කියන ආන්දෝලනාත්මක දුරකථන සංවාදය සම්බන්ධයෙන් ඉදිරිපත් වු සාක්ෂි හා කරුණු සළකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම නියෝගය ලබාදී ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න ජනවාරි 23 දින සඳහන් කළාය.
අදාළ විනිසුරුවරයා සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු ලෙස ද නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.
“රන්ජන් රාමනායක හඬපට” සමග සම්බන්ධ බව කියන හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවකගේ හා වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ ද වැඩතහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ ද රාමනායක මන්ත්‍රිවරයා සමඟ සිදුකළ බව කියන දුරකථන සංවාද පිළිබඳ තාක්ෂණික සාක්ෂි අදාළ දුරකථන සේවා සැපයුම්කරුවන්ගෙන් ලබා ගන්නා ලෙසද නීතිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග පැවැත්වූ බව කියන දුරකතන සංවාදයක හඬපටයක් නිකුත් වීමත් සමග ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කර තිබෙනවා.
අධිකරණ සේවා කොමිසම මහාධිකරණ විනිසුරුවරයා සම්බන්ධයෙන් සිය නිර්දේශය ජනාධිපතිවරයා වෙත යවා තිබුණි. ඒ සමගම තවත් හඬපටයකට අදාළව බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේද වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කර තිබුණි.
මේ වන විට හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය හා මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන තිදෙනාගෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ සටහන කරගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

