දේශීය පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න ඉල්ලා අස්වෙයි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න, ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස යහපාලන ආණ්ඩුව සමයේ මුලින් පත් කළ දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ, එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු 2016 නොවැම්බර් මාසයේදී ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කර තිබුණි.

ඒ වන විට ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා නීතීපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කෙළේය. ඔහු අල්ලස් කොමිසමේ තතත්වය ඉහළ දැමීමට හා අල්ලස් සිද්ධීන් සම්බන්ධ විමර්ශන සඳහා නවීන තාක්‍ෂණය යොදා ගැනීමට කටයුතු කළේය.

ශී‍්‍ර ලංකාවේ නීතිමය කි‍්‍රයාවලිය සඳහා ඩී.එන්.ඒ සහ දුරකථන සාක්ෂි හඳුන්වාදීමට මූලික වී කි‍්‍රයා කළ නිලධාරියෙකු ලෙස සැළකෙන ඔහු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීමට ප්‍රථම නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. අල්ලස් කොමිසමේ කටයුතුවලදී නවීන තාක්ෂණය යොදා ගැනීමට මූලික වූ අයෙකු ලෙස ද සැළකෙනවා. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා හිටපු දැව සංස්ථා සභාපතිවරයා අල්ලස් සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගැනුනේද ඔහු අධ්‍යක්ෂ ජනරාල්ව කටයුතු කළ සමයේ දී ය.

කෙසේ නමුත් දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි අල්ලස් කොමිසමේ ඌන ක්‍රියාකාරීත්වය හේතුවෙන් කාර්යක්ෂම නිලධාරියෙකු ඊට පත් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ඔවුන් කොමිසම ඉදිරියේ කළ පැමිණිලි දහස් ගණනක් සම්බන්ධයෙන් ක්‍රියාකාරී නොවූ බවට චෝදනා කරමිනි.

මේ අතර අල්ලස් කොමිසමට නව නිලධාරීන් බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියළු කටයුතු අවසන් කර තිබුණ ද මුදල් අමාත්‍යංශය විසින් පත් වීම් ලබා දීම නවතා ඇතැයි අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග කියා සිටී. ඒ හේතුවෙන් පරීක්ෂණ ගණනාවක් සිර වී ඇති බවත් ඇතැම් පරීක්ෂණ මන්දගාමී වී ඇති බවත් එම ආරංචි මාර්ග කියා සිටියා.

නව බඳවා ගැනීම් අතර විමර්ශන නිලධරීන් 200, නිවාරණ නිලධාරීන් 50ක් හා නීති සහයකයින් 17 දෙනෙකු ඇතුළත්. ඔවුන් බඳවා ගැනීමට අදාළ විභාගයන්, සම්මුඛ පරීක්ෂණ හා පසුබිම් පරීක්ෂණ සියල්ල අවසන් කර අවසන් ලැයිස්තුව සකස් කර තිබිය දීත් මෙලෙස පත්වීම් නතර කර තිබීම හේතුවෙන් ආයතනය මන්දගාමී වී ඇතැයිද එම කොමිසමේ ආරංචි මාර්ග කියා සිටියා.

එවන් පසුබිමක් තුළ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න, පසුගිය ජනවාරි 20 වැනිදා ඉල්ලා අස්වී තිබේ. කෙටි සමුදීමේ උත්සවයකින් පසු සරත් ජයමාන්න ආයතනයෙන් සමුගෙන තිබෙනවා.

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෝහාරික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකු වේ. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු ද වන සරත් ජයමාන්න අල්ලස් කොමිසමෙන් ඉවත් වීමෙන් අනතුරුව යළිත් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට වාර්තා කිරීමට නියමිත බවද වාර්තා වේ.

සම්බන්ධිත පුවත්
අල්ලස් කොමිසම මන්දගාමී වෙලා!
අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් 200 තවමත් බඳවාගෙන නෑ

Rivira FB Group Rivira Youtube
To Top