දේශීය පුවත්

ශ්‍රේෂ්ඨාධීකරණයට හා අභියාචනාධීකරණයට නව විනිසුරුවරුන් දෙදෙනෙකු පත්වෙයි

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසභාවේ අනුමැතිය හිමිවී තිබේ.

විනිසුරු යසන්ත කෝදාගොඩ, ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත්වීමෙන් පුරප්පාඩු වූ අභියාචනාධිකරණයේ සභාපති ධූරය සඳහා එම ධූරයේ වැඩ බැලීමට පත් කර සිටි ඒ.එච්.එම්. ධීලීප් නවාස් පත්කිරීමට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනවාරි 24 දින අනුමැතිය ලබා දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉහත නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලිඛිතව දන්වා එවා ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එම නිර්දේශ අනුමත කළ බව එම සභාව පවසයි.

කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආර් සම්බන්ධන්, රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, තලතා අතුකෝරළ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් වන එන්. සෙල්වකුමාර් සහ ජාවිඩ් යූසුෆ් ඇතුළු සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ.

ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කළ ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිඥවරයෙකු බවට පත් වී තිබේ. ජාත්‍යන්තර නීතිය පිළිබඳ පශ්චාද් උපාධියක් ද ලබා ඇති ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු දක්වා සේවය කර තිබේ. පසුව 2019 මාර්තු 28 දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස පත්කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ ප්‍රසන්න ජයවර්ධන අභාවප්‍රාප්ථ වීමෙන‍ෙ පසුව පුරප්පාඩු වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධූරය සඳහා යසන්ත කෝදාගොඩ ජනාධිපතිවරයා විසින් මෙලෙස නිර්දේශ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය සහිතව පත් කර තිබේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස පත් කර සිටින ධිලීප් නවාස්, අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වේ. කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඔහු නීතිය පිළිබඳ පශ්චාද් උපාධියක් ද හිමිකරගෙන සිටී. රජයේ නීතිඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක් වූ ධිලීප් නවාස්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකු දක්වා සේවය කර තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top