,
Foreign

කොබේ බ්‍රයන්ට් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

විශිෂ්ඨ පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණියක හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ජනවාරි 26 ඉරිදා උදෑසන ඇමරිකාවේ කැලිෆෝනියාවේ කැලබාබස් හි කඳු බෑවුමකට හෙලිකොප්ටරයක් ​​කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙන අතර එහි ගමන්ගත් 9 දෙනාම මියගොස් තිබේ.

41 හැවිරිදි කොබේ බ්‍රයන්ට් සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය ජියානා මරියා බ්‍රයන්ට්
ජනවාරි 26 ඉරිදා පැවැත්වීමට නියමිත බාස්කට්බෝල් තරඟයක් සඳහා සහභාගී වීමට නියමිතව සිට ඇත. එහිදී ජියානාගේ පුහුණුකරු ලෙස ඇයගේ පියා වන බ්‍රයන්ට් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ බව ලේඩි මේවරික්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂ එව්ලින් මොරාලෙස් පවසයි.

ලොස් ඇන්ජලීස් නගරයට සැතපුම් 30 ක් පමණ වයඹ දෙසින් පිහිටි කඳුකර ප්‍රදේශයක සිදු වූ හෙලිකොප්ටර් අනතුර නිසා ගින්නක් ඇති වී තිබෙන බව ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඩැරල් ඔස්බි පැවසීය. මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ සිටි පුද්ගලයින් නවදෙනාම මිය ගිය බව ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ. මිය ගිය මගීන් සියලු දෙනාම ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් බව ද අනාවරණය වී තිබේ.

හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය සහ තවත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන් කිහිපයක් විසින්ම පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

Rivira Ads
To Top